DRS ක්‍රමයෙන් බංග්ලාදේශයට අවාසියක් වුනා ද?

172

බංග්ලාදේශ කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ දෙවැනි විස්සයි විස්ස තරගය ඊයේ (30) පැවැත්වුනා. වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගය සඳහා ඩක්වත් ලුවිස් න්‍යාය යොදාගැනීමට විනිසුරුවන් තීරණය කළා. කෙසේ වෙතත් එහි දී ගත් යම් යම් තීරණ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ගොඩනැගී තිබුණා.

මෙම තරගය නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු Russell Domingo ඒ පිළිබඳව කනස්සල්ල පල කර තිබුණා. ඩක්වත් ලුවිස් න්‍යාය හෙවත් DRS ක්‍රමය යොදා ගැනීමේ දී අඩුපාඩු කීපයක් සිදු වූ බව ඔහුගේ මතය වී තිබෙනවා. ඔහු ඒ පිළිබඳව තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් පවසා සිටියේ තරගයේ විනිසුරු තීරණ එතරම් “හොඳ මට්ටමක” නොතිබූ බවයි.

මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබුණා. එයට ප්‍රධාන හේතුව වූයේ තරගයේ දෙවනුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පිටියට පිවිසෙන විට ජයග්‍රහණය සඳහා ඔවුන් ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව නිවැරදි ලෙස දැන්වීමට තරග තීරකවරයා සහ විනිසුරුවන් අපොහොසත් වීමයි. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ඉලක්කගත ලකුණු සංඛ්‍යාවක් නොමැතිව පිටියට පිවිසීම විශේෂත්වයක්.

තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් Russell Domingo පවසා සිටියේ ඉලක්කගත ලකුණු සංඛ්‍යාවක් නොමැතිව කිසිදු කණ්ඩායමක් දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසෙන්නේ නැති බවයි. විනිසුරුවන්ට ඉලක්කගත ලකුණු සංඛ්‍යාව නිවැරදි ලෙස ගණනය කිරීමට නොහැකි වීම නිසා තම කණ්ඩායමට අසාධාරණයක් සිදු වූ බව ද ඔහු පවසා සිටියා.

“අපි පන්දුවට පහර දෙන්න යද්දී අපි දැනගෙන හිටියේ නැහැ ලකුණු කීයක් ඕන ද කියලා. ඩක්වත් ලුවිස් න්‍යාය අනුව අපි ලබාගන්න ඕනේ ලකුණු සංඛ්‍යාවවත් අපිට දැනුම් දුන්නේ නැහැ. මම කවදාවත් ඒ වගේ තරගයකට සම්බන්ධ වෙලා නැහැ. අඩුම වශයෙන් තරගයේ මුල් පන්දුවාර 5 තුල අපි පසුකරන්න ඕනේ ලකුණු සංඛ්‍යාවවත් අපි දැනගෙන හිටියේ නැහැ.” තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Russell Domingo පවසා සිටියා.

“පැහැදිලි ලකුණු සංඛ්‍යාවක් ගැන තීරණයක් දෙනතුරු තරගය පටන්ගන්න ඕනේ නැහැ. එක් එක් මට්ටම්වල දී අපි ලබා ගන්න ඕනේ ලකුණු සංඛ්‍යාව දැනගන්න අපිට අයිතියක් තියනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය සහ තීරණ එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ.”

බංග්ලාදේශ ඉනිම ආරම්භ වී පන්දු 9ක් අවසන් වන විට තරගය නැවතත් තාවකාලිකව නැවැත්වීමට විනිසුරුවන් ක්‍රියා කළා. ඒ බංග්ලාදේශ ඉලක්කය නිවැරදි ලෙස තීරණය කිරීමට නොහැකි වීම හේතුවෙන්. ඒ වන විට ඉලක්කගත ලකුණු සංඛ්‍යාව 148, 170 හෝ 171 විය හැකි බව පවසා තිබුණු අතර අවසන් තීරණයක් ගෙන තිබුණේ නැහැ.

තවත් ක්‍රිකට් පුවත්:

 

 

පළමුවෙන් බංග්ලාදේශ ඉලක්කය පන්දුවාර 16ක් තුල ලකුණු 148ක් ලෙස ප්‍රකාශ කෙරුණා. නමුත් පන්දු 9ක් අවසානයේ දී එය පන්දුවාර 16ක් තුල ලකුණු 170ක් ලෙස වෙනස් කිරීමට විනිසුරුවන් ක්‍රියා කළා. බංග්ලාදේශයට තවත් ප්‍රශ්නාර්ථයක් එක් කරමින් පන්දුවාර 13ක් අවසානයේ දී ඉලක්කය පන්දුවාර 16ක් තුල ලකුණු 171ක් ලෙස ප්‍රකාශ කෙරුණා.

“තරග නිලධාරීන් නිවැරදි ලකුණු සංඛ්‍යාව බලාපොරොත්තුවෙන් හිටියේ. මට ඔවුන් කිව්වා තරගය ආරම්භ වෙලා පන්දු දෙකක් වගේ යද්දී ඉලක්කය දැනුම් දෙන්නම් කියලා. ඒත් අපිට ඒක දැනුම් දුන්නේ නැහැ. තවත් කල් යන බව ඔවුන් අපිට කිව්වා. ඒක අපිට සිදු වුන ලොකු අසාධාරණයක්. විනිසුරුවන් ලකුණු සංඛ්‍යාව ගණනය කරන්න යම් දත්ත කීපයක් ලැබෙන තුරු හිටියා. ඒත් ඔවුන් තරගය ප්‍රමාද කරන්න කැමති වුනේ නැහැ. අපිට ඒක අවාසියක් වුනා” Russell Domingo තරගය අතරතුර සිදු වූ සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියා.

මේ පිළිබඳව වාර්තා කරමින් Cricbuzz වෙබ් අඩවිය පවසා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තරගය අතරතුර බංග්ලාදේශ ක්‍රීඩකයන් දැඩි ලෙස කණස්සල්ලට පත්වූ බවයි. කෙසේවෙතත් තරගයෙන් අනතුරුව විනිසුරුවන් සහ තරග නිලධාරීන් සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකෙන්ම සමාව ගැනීමට කටයුතු කර තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහරදෙන අතරතුර ද අවස්ථා කීපයක දී වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් විනිසුරුවන් තරගය ක්‍රීඩා කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ද Russell Domingo සිය අප්‍රසාදය පලකර තිබුණා. තරගය පැවති McLean Park ක්‍රීඩාංගණයේ තණතීරුව තෙත්වී තිබුණ ද විනිසුරුවන් තරගය ක්‍රීඩා කිරීමට තීරණය කිරීම පන්දු රකිමින් සිටි තම කණ්ඩායමට මහත් අපහසුතාවයක් වූ බව ඔහු පවසා සිටියා.

“මම හිතන්නේ නැහැ ඒ වගේ වැස්සක් වැටෙන වෙලාවක කණ්ඩායමක් එතරම් වෙලාවක් පන්දු රැකලා තියනවා කියලා. ක්‍රීඩාංගණය ලිස්සනවා. පන්දුවත් තෙත් වෙලා තිබුණේ. මම තරග පරාජය ගැන නිදහසට කරුණු කියන්නේ නැහැ. ඒත් තරගයේ සිදු වුන ගොඩක් දේවල් අපිට අවාසි සහගත වුනා.”

“වර්ෂාව සම්බන්ධයෙන් වන නීති රීති වෙනස් වෙලා කියලා මම හිතන්නේ නැහැ. වර්ෂාව අවසන් වෙනතුරු ආවරණ ඉවත් කරන්නේ නැහැ. වර්ෂාව අවසන් වුනාම තමයි පළමු පන්දුව යවන්නේ. ඒත් මේ තරගයේ ඒක වෙනස් වුනා.”

බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 16 අවසානයේ දී කඩුලු 7ක් දැවී වාර්තා කළේ ලකුණු 142ක් පමණයි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය නවසීලන්තය කණ්ඩායම සතුවුනේ තරගාවලියේ ජයග්‍රහණය ද සමඟින්.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<