සිව්වැනි වරටත් දැල්පන්දු කිරුළ දිනූ HNB ක්‍රීඩිකාවෝ

Dialog 2023 ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය

377

Dialog Axiata PLC සමාගම අනුග්‍රාහකත්වය දැක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය මගින් සංවිධානය කළ “Dialog ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය – 2023” මෙවරත් ජයග්‍රහණය කිරීමට HNB ක්‍රීඩිකාවෝ සමත් වුනා. ඔවුන් මෙම කිරුළ පිට පිට දිනා ගත් සිව්වැනි වසරයි මේ.

“අපිට දිනන්න අවශ්‍යතාව තිබුණා. ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වුනා. ඒ උත්සාහය අපතේ ගියේ නැහැ. ඒ වගේ ම හැම තරගයක දී ම අපේ ක්‍රීඩිකාවන් එක වගේ මහන්සි වුනා. අපේ ඉලක්කයන් හඹා ගියා. ඒ ශක්තියත් සමඟින් මෙවරත් දැල්පන්දු ශූරියන් වීම ගැන අපි හැමදෙනා ම නිරහංකාර සතුටක් විඳිනවා,” ජයග්‍රාහී HNB කණ්ඩායමේ පුහුණුකාරිණි සශිකා සමරසිංහ ThePapare.com සමඟ කතාබහට එක් වෙමින් පැවසුවා.

කොළඹ 7, ටොරිංටන් ක්‍රීඩා පිටියේ පැවැති මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 33ක් කාණ්ඩ 4ක් යටතේ තරග වැදුණ අතර HNB ක්‍රීඩිකාවෝ තරගාවලියේ ශූරයන් වන්නේ අපරාජිතව සිටිමින් වීම විශේෂත්වයක්.

HNB ක්‍රීඩිකාවන්ගේ ගමන් මඟ
1 ශ්‍රී ලංකා Youth HNB කණ්ඩායමට ලකුණු 52-6ක ජයක්.
2 කළුතර බාලිකා HNB කණ්ඩායමට ලකුණු 47-8ක ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
3 කොතලාවල ආරක්ෂ විද්‍යා පීඨය HNB කණ්ඩායමට ලකුණු 37-6ක ජයක්.
අවසන් පූර්ව වටය
4 ශ්‍රී ලංකා නාවික හමුදාව HNB කණ්ඩායමට ලකුණු 39-27ක ජයක්.
අවසන් මහා තරගය
5 ශ්‍රී ලංකා ගුවන් හමුදාව HNB කණ්ඩායමට ලකුණු 45-28ක ජයක්.

“අපි තරගයෙන් තරගයට ප්‍රතිවාදීන්ට මුහුණ දිය යුතු ආකාරය ගැන සැලසුම් කළා. මොකද හැම කණ්ඩායමක් ම එක වගේ නැහැ. එයාලගේ පළමු උපක්‍රමය වුණේ ලැබෙන පළමු අවස්ථාවේ ම සාර්ථක විය යුතුයි කියන එක. අනිත් එක ලැබෙන සෑම අවස්ථාවක දී ම උපරිම වාසිය ලබා ගත යුතු බවත් අවධාරණය කළා. ඒ වගේ ම තරගයේ දී ප්‍රතිවාදීන් අසරණ කරන ලකුණු පරතරයක් ඇති ව තරගය පවත්වා ගෙන යෑමත් අපේ එක් අරමුණක් වුනා. අපේ මේ හැම උපක්‍රමයක් ම සාර්ථක වුනා,” සශිකා සමරසිංහ නැවත පැවසුවා.

ඇයගේ මෙම උත්සාහය තරගාවලිය පුරා ම දැක බලා ගැනීමට ලැබීම විශේෂයි. ඔවුන් මෙම තරගාවලිය තුළ තරග 5ක දී ලකුණු 220ක් ලබා ගනිද්දී, ප්‍රතිවාදීන්ට රැස් කිරීමට ලබා දෙන්නේ ලකුණු 75ක් පමණයි.

නමුත් අවසන් පූර්ව වටයේ දීත් සහ අවසන් මහා තරගයේ දීත් මෙම තත්වයේ තරමක වෙනස් බවක් පෙන්වනවා. ඒ අනුව අවසන් පූර්ව වටයේ දී හමු වූ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවන් HNB ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 27ක් ලබා ගන්නවා. කෙසේ වෙතත් එම තරගය ලකුණු 12ක පරතරයක් තබා ගනිමින් අවසන් කිරීමට HNB ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

එමෙන් ම අවසන් මහා තරගයේ දී හමු වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ද HNB ක්‍රීඩිකාවන්ට තියුණු තරගයක් ලබා දුන්නා. පළමු කාර්තු දෙක තුළ HNB ක්‍රීඩිකාවෝ තම උපක්‍රමයන් ක්‍රියාත්මක කරමින් ලකුණු විශාල පරතරයක් පවත්වා ගත්ත ද, අවසන් කාර්තු දෙක තුළ දී ප්‍රතිවාදීන් තරමක බලාත්මක වීමට සමත් වුනා.

තෙවැනි කාර්තුවේ දී 09-08ක් ලෙස ලකුණු හිමි වෙද්දී, සිව්වැනි කාර්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ලකුණු 09ක් ලබා ගනිමින් ඉදිරියට පැමිණි අතර HNB ක්‍රීඩිකාවෝ වාර්තා කරන්නේ ලකුණු 08ක් පමණයි.

“අපි ඒ දේ බලාපොරොත්තු වුනා. ඔවුන් ලෙහෙසියෙන් නොසලකා හැරිය හැකි කණ්ඩායම් නොවේ. දක්ෂ, ආක්‍රමණශීලි ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් ම ගුවන් හමුදා කණ්ඩායමේ හිටියා. ඒ වගේ ම ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමේ ද සිටියා. ඒ නිසා මේ තරග දෙකේ දී ම පරාජයේ අවධානම නොතිබුණාමත් නොවේ. නමුත් අපි නිතර ම උත්සාහ කළේ ඉදිරියෙන් ඉන්න. අපි ඒ දේ කළා. ඒක අපේ වාසියට  හිටියා.”

  • HNB කණ්ඩායම: දර්ශිකා අබේවික්‍රම (නායිකාව) ගයාන්ජලී අමරවංශ (උපනායිකාව) උමංගා ද සොයිසා, ගයානි දිසානායක, හෂීනා අබ්දුල්, ඉමාෂි සුබසිංහ, චරිනි මෙන්ඩිස්, දුලංගි වන්නිතිලක, මල්මි හෙට්ටිආරච්චි, අනීශා පෙරේරා, සජිනි රත්නායක සහ යුතාරා රාජරත්නම්
  • නිලධාරීන්: පබසරා ගුණසේකර (කණ්ඩායම් කළමණාකාරිණි) සශිකා සමරසිංහ (පුහුණුකාරිණිය) හංසි බණ්ඩාර (සහාය පුහුණුකාරිණිය) සහ මහේෂ් වනිගසූරිය (Physio)

HNB කණ්ඩායම මෙම ශූරතාව කරා යෑමේ දී Dialog තෑගි මේසයට ම වග කියන්නත් අමතක කළේ නැහැ. තරගාවලියේ දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව ලෙස ගයාංජලී අමරවංශ ද, දක්ෂතම පන්දු විදින්නිය ලෙස උමංගා ද සොයිසා ද, දක්ෂතම පන්දු රකින්නිය ලෙස මල්මි හෙට්ටිආරච්චි ද සහ 2023 වසරේ දැල්පන්දු රැජින ලෙස ගයනි දිසානායක ද සම්මානයට පාත්‍ර වුනා.

සිව් වසරක් පුරා අඛණ්ඩව කණ්ඩායම් ශූරතාවක් දිනා ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවේ. ඒ වෙනුවෙන් නිවැරදි පුහුණුවීමක් මෙන් ම මනා නිපුණතාවන්ගෙන් යුත් මඟ පෙන්වීමක් ද විය යුතුයි. මේ සිව් වසරේ දී ම HNB කණ්ඩායමේ පුහුණුකාරිනිය වන්නේ සශිකා සමරසිංහ.

අපි මුලින් ම මේ කණ්ඩායම හැදුවේ පැසිපන්දු ක්‍රීඩිකාවන් වැඩි දෙනෙක් යොදා ගනිමින්. ඒක ආරම්භයේ දී තරමක විවේචනයටත් ලක් වුනා. ඒත් අපේ උත්සාහය අපතේ ගියේ නැහැ. ඔවුන් සමඟ අපි අද ජයග්‍රාහී ගමනකට ඇවිත් සිටිනවා. දැන් නම් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් සහ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ද අප සතුයි. මේ හැමෝමත් සමගින් අපි හොඳ ගමනක් යනවා, සශිකා සමරසිංහ ThePapare.com සමඟ පැවසුවා.

දැල්පන්දු පිටියේ පෙරළිකාරියන් බවට පත් වූ HNB කණ්ඩායමට මෙන්ම තරගාවලියේ දී සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් සියලු දෙනාට ThePapare.com හි උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<