යශෝධ ලංකාත් NSL ශතක සමාජයට

National Super League Limited Over Tournament 2024

90
National Super League Limited Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (16) අවසන් වූ තරගවල දී Galle කණ්ඩායමේ ආරම්භක දකුණත් පිතිකරු යශෝධ ලංකා ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

මෙය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ 3 වැනි ශතකය වන අතර මෙවර තරගාවලියේ දී ඔහු විසින් රැස් කරන ලද පළමු ශතකයයි.

11 වැනි තරගය

  • Galle සහ Kandy අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ මහනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත් අතර එම ඉලක්කය හඹා ගිය ගාලු ක්‍රීඩකයෝ තරගයේ තවත් පන්දු 97ක් ඉතිරි ව තිබිය දී කඩුලු 8ක් පමණක් දැවී ප්‍රතිවාදී ලකුණු ප්‍රමාණය අභිබවා ගියා.

පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු තනුක දාබරේ පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

ඊට අමතර ව කවින් බණ්ඩාර පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ද සහ කමිල් මිෂාර පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මුදිත ලක්ෂාන් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය කඩුලු 2ක් බැගින් ද ධනංජය ලක්ෂාන් සහ දිනුක ඩිල්ශාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගාලු කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට ආරම්භක පිතිකරු යශෝධ ලංක සමත් වුනා. ඔහු පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තා.

ඊට අමතර ව ධනංජය ලක්ෂාන් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා.

තරගය අවසන් වන ජනිශ්ක පෙරේරා පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද සහ අකිල ධනංජය නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී යොහාන් මද්දගේ ලකුණු 59කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව සහන් ආරච්චිගේ ලකුණු 37කට කඩුලු 3ක් ද සහ තනුක දාබරේ කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

Kandy – සියලුම දෙනා දැවී 197 (49.1) තනුක දාබරේ 51, කමිල් මිෂාර 34, කවින් බණ්ඩාර 38, රවිඳු රත්නායක 27, අකිල ධනංජය 2/36, මුදිත ලක්ෂාන් 4/23, දුනිත් වෙල්ලාලගේ 2/30

 

Galle – කඩුලු 8ක් දැවී 198 (33.5) යශෝධ ලංකා 110, ධනංජය ලක්ෂාන් 41, ජනිශ්ක පෙරේරා නොදැවී 13, සහන් ආරච්චිගේ 3/37, යොහාන් මද්දගේ 4/59

 

Galle කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

12 වැනි තරගය

Jaffna සහ Colombo අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් යාපනය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 161ක් ලබා ගත් අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මොහොමඩ් ශමාස්. ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වූයේ හසිත බෝයගොඩ සහ බිනුර ප්‍රනාන්දු. ඔවුන් දෙදෙනා ලකුණු 21 බැගින් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කවිඳු නදීශාන් ලකුණු 35කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අක්මල් ෆස්ලි ද කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතර ව දසුන් ශානක සහ ප්‍රමෝද් මධුශාන් කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ 26 වැනි පන්දුවාරයේ දී ප්‍රතිවාදී ඉලක්කය පසු කරන්නේ කඩුලු 5ක් පමණක් අහිමි ව තිබිය දී යි.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා. ඊට අමතර ව අනෙක් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ද පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 57ක දී එක් කළ ලකුණු සංඛ්‍යාව 74ක්.

එම ජයග්‍රාහී ඉනිම සඳහා නායක චරිත් අසලංක පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී චමිඳු වික්‍රමසිංහ පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී පුලින තරංග සහ සඳුන් වීරක්කොඩි කඩුලු 2ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව කල්හාර සේනාරත්න කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

Jaffna – සියලුම දෙනා දැවී 161 (31.4) හසිත බෝයගොඩ 21, මොහොමඩ් ශමාස් 41, බිනුර ප්‍රනාන්දු නොදැවී 21, ප්‍රමෝද් මධුශාන් 2/36, අකමල් ෆස්ලි 3/41, දසුන් ශානක 2/22, කවිඳ නදීශාන් 3/35

 

Colombo – කඩුලු 5ක් දැවී 163 (25.3) අවිශ්ක ප්‍රනාන්දු 41, කුසල් පෙරේරා 46, චරිත් අසලංක 32, චමිඳු වික්‍රමසිංහ නොදැවී 25, සඳුන් වීරක්කොඩි 2/25, පුලින තරංග 2/21

 

Colombo කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගාවලියේ මීළඟ තරග සැප්තැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව Dambulla සහ Colombo කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, Jaffna සහ Kandy කණ්ඩායම් අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<