Shakibගේ තුන් ඉරියව් දස්කම් බංග්ලාදේශ බලාපොරොත්තු රැකගනී

637
Bangladesh vs Oman
Image Courtesy: TWITTER/ICC

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (19) රාත්‍රියේ බංග්ලාදේශය සහ ඕමානය අතර ඕමානයේ Al Amerat ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

එම තරගයේ දී ඕමානය ලකුණු 26කින් පරාජය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට බංග්ලාදේශයට හැකි වුනා.

බංග්ලාදේශයට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීම සඳහා අතිශය තීරණාත්මක වූ මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත්තේ බංග්ලාදේශයයි. ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

සිය මව්බිමේ දී බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ තීරණයට අභියෝගයක් එල්ල කරමින් බංග්ලාදේශ පළමු කඩුලු දෙක ලකුණු 21ක් තුළ දවා ගැනීමට ඕමාන පන්දු යවන්නන්ට හැකි වුනා.

Liton Das ලකුණු 6කට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරමින් දවා ගැනීමට Bilal Khan සමත් වූ අතර Fayyaz Buttගේ පන්දුවකට ඔහු වෙතම පෙරළා උඩ පන්දුවක් ලබා දෙමින් Mahedi Hasan ලකුණු නොලබා දැවී ගියා.

ඕමාන පන්දු යවන්නන්ගේ දුර්වල උඩ පන්දු රැකීමෙන් ප්‍රයෝජන ගනිමින් තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 80ක වටිනා සම්බන්ධතාවයක් ගොඩනැගීමට Mohammad Naim සහ Shakib Al Hasan සමත් වුනේ බංග්ලාදේශ ලකුණු පුවරුව 101ක් දක්වා ඉහළ දමමිනුයි. දුවද්දී දැවී යාමකට හසුව Shakib පිටියෙන් ඉවත් වන විට පන්දු 29ක් තුළ ඔහු ලකුණු 42ක් ලබා සිටියා.

එම දැවී යාමෙන් පසු පිටියට පිවිසි Nurul Hasan හට සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදෙමින් ලකුණු 3කට ඔහුව පිටියෙන් ඉවත් කිරීමට ඕමාන් නායක Zeeshan Maqsoodට හැකි වුනේ නැවතත් තරගයේ පීඩනය බංග්ලාදේශයට ගෙන දෙමින්.

සටන්කාමී ඉනිමක් දියත් කරමින් ලකුණු 64ක් වාර්තා කළ Mohammad Naim සහ එක් ලකුණක් ලබා සිටි Afif Hossain එක් පන්දුවාරයක් තුළ ක්‍රීඩාගාරයට හරවා යැවීමට Kaleemullah සමත් වුනේ බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 122ට කඩුලු 6ක් බවට පත්කරමිනුයි.

අවසන් පන්දුවාර 5 තුළ කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ඕමාන් පන්දු යවන්නන් බංග්ලාදේශ ඉනිම ලකුණු 153කට සීමා කිරීමට සමත් වුනා. පන්දු යැවීමේ දී Bilal Khan සහ Fayyaz Butt කඩුලු තුන බැගින් දවා ගන්නා විට Kaleemullah කඩුලු දෙකක් බිඳ හෙලුවා.

ලකුණු 154ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕමාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 13 දී දවා ගැනීමට Mustafizur Rahman සමත් වුනේ දෙවැනි පන්දුවාරයේ දීයි. ඒ ලකුණු 6ක් ලබා සිටි Aqib Ilyas කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්.

ඉන්පසු පිටියේ එක්වූ Kashyap Prajapati සහ Jatinder Singh ඕමාන ලකුණු පුවරුව 47ක් දක්වා ඉහළ දැමීමට සමත් වූවත්, පන්දු 18ක් තුළ ලකුණු 21ක් රැස් කරගෙන සිටි Kashyap Prajapati පිටියෙන් ඉවත් කිරීමට Mustafizur Rahmanට හැකි වුනා.

තුන්වැනි කඩුල්ල සඳහා පවත්වා ගත් ලකුණු 41ක සම්බන්ධතාවයකින් පසු මුළු ලකුණු සංඛ්‍යාව 81ක් වන විට ලකුණු 12ක් ලබා සිටි ඕමාන නායක Zeeshan Maqsood දවා ගැනීමට Mahedi Hasanට හැකි වුනේ සිය කණ්ඩායමට තරමක සහනයක් ගෙන දෙමිනුයි.

එතෙක් වේලාවක් බංග්ලාදේශයට දැඩි හිසරදයක් වෙමින් පන්දු 33ක් තුළ ලකුණු 40ක් වාර්තා කරගෙන සිටි Jatinder Singh දවා ගනිමින් සිය කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කරගැනීමට Shakib Al Hasanට හැකි වුනා.

ඕමානය තවත් තරගයෙන් ඉවතට ඇද දමමින් ලකුණු 4ක් ලබා සිටි Sandeep Goud පිටියෙන් ඉවත් කිරීමට Mohammad Saifuddin සමත් වුනේ ඕමාන ලකුණු පුවරුව ලකුණු 101/5ක් බවට පත්කරමිනුයි.

තරගයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට ගෙන දෙමින් 17 සහ 18 වැනි පන්දුවාරයන් තුළ කඩුලු දෙක බැගින් දවා ගැනීමට Shakib Al Hasan සහ Mustafizur Rahman සමත් වුනා.

එම කැපී පෙනෙන පන්දු යැවීම හමුවේ ඕමානයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 127ක් පමණයි. පන්දු යැවීමේ දී Mustafizur Rahman ලකුණු 36කට කඩුලු 4ක් සහ Shakib Al Hasan ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව තරගයෙන් ලකුණු 26ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට බංග්ලාදේශයට හැකි වූ අතර ඔවුන් සහභාගී වන තීරණාත්මක සහ අවසන් තරගය එළඹෙන 21 වැනිදා පැපුවා නිව් ගිනියාව සමඟ පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශය: 153/10 (20) – Mohammad Naim 64, Shakib Al Hasan 42, Bilal Khan 3/18, Fayyaz But 3/30.

ඕමානය: 127/9 (20) – Jatinder Singh 40, Kashyap Prajapati 21, Mustafizur Rahman 4/36, Shakib Al Hasan 3/28.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

>> Click here to view full scorecard