ගාල්ල දිනක නිවාඩුවක් ලබා ගනී

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

270

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරගවල දිනයක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය වාර්තා කිරීමට ගාල්ල ක්‍රීඩකයෝ අද (28) සමත් වුනා.

ඔවුන් මෙහි දී පරාජය කරන ලද්දේ පෙර තරගයේ දී කොළඹ කණ්ඩායමට එරෙහිව ඉනිමක ජයග්‍රහණයක් වාර්තා කරන ලද මහනුවර කණ්ඩායමයි. මේ අනුව ගාල්ල ක්‍රීඩකයෝ තමන් මුහුණ දුන් තරග 2 ම ජයග්‍රහණය කරමින් තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.

ගාල්ල ක්‍රීඩකයෝ පෙර තරගයේ දී දඹුල්ලට එරෙහිව ඉනිමක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර දඹුල්ල සහ යාපනය සමඟ පැවැත්වෙන තරගය තෙවැනි දිනයට නතර කරන විට දඹුලු ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ව තිබුණේ ලකුණු 45ක් පමණයි.

ගාල්ල සහ මහනුවර

කොළඹ පී. සරා Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 290ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 365ක් ලබා ගත්තා.

පෙර දින තරගය නතර කරන විට ගාල්ල ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිමේ වඩාත් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් වූයේ සංගීත් කුරේ සහ ලක්ෂාන් එදිරිසිංහ.

පෙර දින නොදැවී ලකුණු 27ක් ලබා සිටි සංගීත් කුරේ අද තම ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඔහු පන්දු 207කට මුහුණ දෙමින් හතරෙර් පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 132ක් වාර්තා කළා.

එමෙන් ම පෙර දින නොදැවී ලකුණු 24ක් ලබා සිටි ලක්ෂාන් එදිරිසිංහ අද දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 144ක්.

ඔවුන්ට අමතර ව ගාල්ල ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කිරීමට විශාද් රන්දික සමත් වුනා. ඔහු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගනිමින් ලකුණු අතරට පිවිසියා.

කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යවන නිපුන් රංසික ලකුණු 85කට කඩුලු 3ක් දවා ගත් අතර වනුජ කුමාර ද ලකුණු 105කට කඩුලු 3ක් දවා ගත්තා.

දෙවැනි දිනය අවසානයේ දී කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටි මහනුවර ක්‍රීඩකයෝ අද තම දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් සඳුන් වීරක්කොඩි පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තා.

ඊට අමතර ව වනුජ කුමාර පන්දු 33ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 33ක් ද සහ කසුන් විදුර පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් ශිරාෂ් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් ලබා ගනිද්දී කවිශ්ක අංජුල, රමේෂ් මෙන්ඩිස් සහ අසංක මනෝජ් කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 124ක හඹා යන ඉනිමකට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ එම ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගැනීමට සමත් වුනා.

එහි දී පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ ආරම්භක පිතිකරු සංගීත් කුරේ තමන් මුහුණ දුන් 40 වැනි පන්දුවේ දී අර්ධ ශතක ලකුණ වාර්තා කළ අතර තරගය අවසන් වන විට පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබා ගත්තා.

ඊට අමතර ව අනෙක් ආරම්භක පිතිකරු වූ හෂාන් දුමිඳු ද පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තා.

  • මහනුවර – පළමු ඉනිම පන්දුවාර 65.5ක දී සියලුම දෙනා දැවී 290 (උදයවංශ පරාක්‍රම 49, සඳුන් වීරක්කොඩි 76, අහන් වික්‍රමසිංහ 62, මොවින් සුබසිංහ 30, කවිශ්ක අංජුල 2/56, අසංක මනෝජ් 4/31, රමේෂ් මෙන්ඩිස් 2/63)
  • ගාල්ල – පළමු ඉනිම පන්දුවාර 93.5ක දී සියලුම දෙනා දැවී 365 (සංගීත් කුරේ 132, ලක්ෂාන් එදිරිසිංහ 70, ඇන්ජලෝ මැතිව්ස් 44, විශාද් රන්දික 53, නිපුන් රංසික 3/85, වනුජ කුමාර 3/105)
  • මහනුවර – දෙවැනි ඉනිම පන්දුවාර 66.4ක් අවසානයේ දී සියලුම දෙනා දැවී 198 (කසුන් විදුර 28, සඳුන් වීරක්කොඩි 71, මොවින් සුබසිංහ 27, වනුජ කුමාර 33, මොහොමඩ් ශිරාෂ් 3/26, ප්‍රවීන් ජයවික්‍රම 3/20)
  • ගාල්ල – දෙවැනි ඉනිම පන්දුවාර 23.3ක දී කිසිවෙක් නොදැවී 129 (හෂාන් දුමිඳු නොදැවී 54, සංගීත් කුරේ නොදැවී 75)

ගාල්ල කණ්ඩායමට කඩුලු 10ක ජයග්‍රහණයක්.

දඹුල්ල සහ යාපනය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ ලකුණු 62කට දැවී ගිය අතර ඊට පිළිතුරු ලෙස දඹුල්ල ක්‍රීඩකයෝ ලකුණු 213ක් ලබා ගත්තා.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 151ක් පිටුපස සිටිමින් නැවත වතාවක් පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 349ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් රවිඳු ප්‍රනාන්දු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලු ලබා ගත්තා. ඊට අමතර ව දුවිඳු තිලකරත්න කඩුලු 3ක් ද සහ අශාන් ප්‍රියංජන් කඩුලු 2ක් ද ලබා ගත්තා.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 199ක අවශ්‍යතාව වෙනුවෙන් පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් මිනෝද් භානුක පන්දු 61කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා. ඊට අමතර ව ඩිලාන් ජයලත් පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ද සහ තරගය තෙවැනි දිනයට නතර කරන විට සනෝජ් දර්ශික පන්දු 69කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී රවිඳු ප්‍රනාන්දු කඩුලු 2ක් සහ දිලුම් සුදීර කඩුල්ලක් ලබා ගත්තා.

යාපනය – පළමු ඉනිම පන්දුවාර 26.5ක දී සියලුම දෙනා දැවී 62 (කසුන් අබේරත්න 16, අසිත ප්‍රනාන්දු 4/24, විශ්ව ප්‍රනාන්දු 5/14)

  • දඹුල්ල – පළමු ඉනිම පන්දුවාර 53.5ක දී සියලුම දෙනා දැවී 213 (මිනෝද් භානුක නොදැවී 67, රනිත ලියනාරච්චි 51, විශ්ව ප්‍රනාන්දු නොදැවී 25, නිපුන් මාලිංග 2/39, යසිරු රොද්‍රිගෝ 3/52, ඒහාන් මාලිංග 2/39, දිලුම් සුදීර 2/18)
  • යාපනය – දෙවැනි ඉනිම පන්දුවාර 98.5ක දී සියලුම දෙනා දැවී 349 (නවෝද් පරණවිතාන 64, රොන් චන්ද්‍රගුප්ත 67, මාධව වර්ණපුර 46, රවිඳු ප්‍රනාන්දු 64, නිපුන් මාලිංග 38, අසිත ප්‍රනාන්දු 4/63, අශාන් ප්‍රියංජන් 2/76, දුවිඳු තිලකරත්න 3/72)
  • දඹුල්ල – දෙවැනි ඉනිම පන්දුවාර 44.5ක දී කඩුලු 4ක් දැවී 154 (44.4) ඩිලාන් ජයලත් ජයලත් 34, සනෝජ් දර්ශික නොදැවී 34, මිනෝද් භානුක 55, රවිඳු ප්‍රනාන්දු 2/62

මෙම තරගය හෙට (29) සිව්වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<