ඉන්දීය ප්‍රවීණයෙක් වසර 7කට පසු නැවත පිටියට

599
sreesanth

2013 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තරග තහනමකට ලක් වූ ශාන්ත කුමාරන් ශ්‍රීසාන්ත්ට පැනවූ සදාකාලික තරග තහනම වසර හතක් දක්වා අඩු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ඔම්බුඩ්ස්මන්වරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ තරග තහනම් කාලය 2020 වසරේ සැප්තැම්බර් මස 13 වැනිදා අවසන් වනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන පිළ අවසන් පන්දුවාරයේ දී වැඩ වරද්දා ගනියි!

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගය තියුණු සටනකින් අනතුරුව.

මේ තීරණය ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ ඉන්දීය උපරිමාධිකරණය විසින් කළ නියෝගයකට පසුවයි.

මාස පහකට අධික කාලයක් ඉන්දීය උපරිමාධිකරණයේ පැවති නඩු විභාගයකින් පසුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට, මාස තුනක් තුළ ඔවුන් ලබා දුන් තීරණය නැවත සලකා බලා සාධාරණ තීරණයක් ලබා දෙන ලෙස අධිකරණය නියෝග කළා.

ශ්‍රීසාන්ත්ගේ තරග තහනම් කාලය 2013 වසරේ සැප්තැම්බර් 13 වැනිදා ආරම්භ වුනා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය කමිටුව විසින් ඔහුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් ලබා දුන් අතර එයට හේතුව වුනේ 2013 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තරග පාවාදීමකට (spot-fixing) හවුල් වීමයි.

2013 IPL තරගාවලිය අතරතුර දී බුකීකරුවන්ට තරග පාවාදීමට සහය ලබා දීම නිසා ශ්‍රීසාන්ත් හා තවත් රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩකයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ලක් වුනා. ශ්‍රීසාන්ත්ට චොදනා එල්ල වුනේ මැයි 9 වැනිදා කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී සිදු වූ සිදුවීමක් සම්බන්ධවයි. එම තරගය රෝයල්ස් කණ්ඩායම කඩුලු 9කින් ජය ගත්තා. BCCI විනය කමිටුව දූෂණ ක්‍රියා කිරීම, ඔට්ටු ඇල්ලීම, ක්‍රීඩාව අගෞරවයට ලක් කිරීම හා බුකිකරුවන් පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට නොදැන්වීම යන චෝදනා යටතේ ශ්‍රීසාන්ත්ට චෝදනා ගොනු කළා.   

කෙසේ වෙතත් ඉන්දීය උපරිමාධිකරණය තීරණය කළේ BCCI සභාපති එන්. ශ්‍රීනිවාසන්, උප සභාපතිවරු වන අර්ජුන් ජයිටලී හා නිරන්ජන් ශාගෙන් සැදුම් ලත් තිදෙනෙකුගෙන් යුතු විනය කමිටුව ශ්‍රීසාන්ත්ට එරෙහිව තීන්දුව ලබා දෙන විට විනය නීති මාලාව නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බවයි. විනය නිති මාලාව යටතේ සඳහන් ඇතැම් කරුණු ඔවුන් නිසි ලෙස විමසා නැති බවත් අධිකරණය පවසා තිබුණා.   

හිටපු දක්ෂ කඩුලු රකින්නෙකු සමඟ දික්වැල්ල පුහුණුවීම් අරඹයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ සාර්ථකම කඩුලු රකින මැදපෙළ පිතිකරුවන්..

ඒ අනුව අධිකරණය විසින් BCCI වෙත නිවේදනය කළේ එම දඬුවම සාධාරණ කාලසීමාවක් කරා නැවත විමසා බලන ලෙසයි. කෙසේ වෙතත් එම නැවත විමසා බැලීමට විනය කමිටුවක් නොසිටි නිසා BCCI ඔම්බුඩ්ස්මන්වරයා එම තීරණය ගන්නා ලදි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවට අනුව විනය කමිටුවක් පත් කළ හැක්කේ ක්‍රිකට් පාලක මණ්ඩලය නිලධාරීන් තෝරා ගන්නා නිලවරණයකින් පසුවයි.

මේ නියෝගය ලබා දීමට පෙර අධිකරණ ශ්‍රීසාන්ත්ගේ පාර්ශවයෙන් මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද කරුණු විමසා සිටියා. ශ්‍රීසාන්ත්ගේ නීතිඥවරයා පවසා සිටියේ විනය පරීක්ෂණය පුරාවට ඔහුගේ සේවාදායකයා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට උපරිම සහයෝගය ලබා දුන් බවයි. 

තවදුරටත් අදහස් දක්වමින් ශ්‍රීසාන්ත්ගේ නීතිඥයා පවසා සිටියේ මෙම සිදුවීම පසුපස බුකීකරුවන් සිටින බව ඔහු නොදැන සිටි බවයි. එමෙන්ම එම සිදුවීම නිසා තරගයේ ප්‍රතිඵලයට කිසිදු බාධාවක් නොවූ බවත්, ඔහුගේ කණ්ඩායම වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගය පහසුවෙන් ජය ගත් බවත් ඔහු පවසා සිටියා. එම සිදුවීම නිසා 2013 IPL තරගාවලියේ ප්‍රතිඵලයට හෝ තරගාවලියේ මූල්‍යමය වටිනාකමටත් කිසිදු අකටයුත්තක් නොවුණු බවත්, ඔහු සිය ක්‍රීඩා දිවිය පුරා ක්‍රීඩාවේ ජිවගුණය ආරක්ෂා කර ඇති බවත් ශ්‍රීසාන්ත්ගේ නීතිඥයා පවසා තිබුණා.  

ශ්‍රීසාන්ත්ගේ නීතිඥ මෙනොන් මහතා BCCI ඔම්බුඩ්ස්මන්වරයාට පවසා සිටියේ ශ්‍රීසාන්ත්ගේ ක්‍රීඩා දිවිය මත පදනම් ව තීරණ ගන්නා ලෙසයි. ඔහු පැහැදිලි කර සිටියේ ශ්‍රීසාන්ත්ට දැන් වයස වසර 36ක් වන බවත්, ඔහුට ක්‍රීඩා කිරීමට ඇත්තේ තවත් වසර තුනක් පමණක් බවයි. මේ කරුණු සැලකිල්ලට ගෙන සාධාරණයක් ඉටු කරන ලෙස ඔහු ඔම්බුඩ්ස්මන්වරයාගෙන් ඉල්ලා සිටියා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නියෝජනය කළ නීතිඥයා පවසා සිටියේ ශ්‍රීසාන්ත් හට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවූයේ කරුණු රැසක් පදනම් කරගෙන බවයි. මෙම ක්‍රීඩකයා පරීක්ෂණවල දී කිසිදු පසුතැවීමක් නොපෙන්වූ බවත්, අවස්ථා රාශියක දී ක්‍රීඩා පිටියේ මෙන්ම ක්‍රීඩා පිටියෙන් පිටතදීත් ඔහු කලහකාරී ලෙස හැසිරුණු බවත්ය. එමෙන්ම ඔහු බුකිකරුවන්ගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10ක්  ලබා ගත් බවට සාක්ෂි ඇති බවත් ඔහු පවසා සිටියා.

>> ක්‍රිකට් පිත්තට, බිලී පිත්තට පෙම් බැඳි යෝධ ඕස්ට්‍රේලියානුවා

ජීවිතාන්තය තෙක් පැනවූ තරග තහනම ඉවත් කිරීමෙන් ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාව කෙරෙහි ඇති විශ්වාසය අහිමි වනු ඇති බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් උපරිමාධිකරණයේ විනිසුරු පවසා සිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිදු තරග පාවාදීමේ වරදකට සමාව නොදීමේ ක්‍රියා පිළිවෙළට තමන් කැමති නමුත් දඬුවම් පැනවීමේ දී අදාළ කරුණු නොවිමසීම වැරදි ක්‍රියාවක් බවයි.  

විනිසුරු පවසා සිටියේ ශ්‍රීසාන්ත පිටියෙන් පිටත හා පිටිය තුළ ක්‍රීඩකයින් සමඟ කලහකාරි ලෙස කටයුතු කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියත්, මීට පෙර මේ දක්වා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ දඬුවම් ලබා දීමක් සිදු කර නොමැති බවයි. ඔහු දිගින් දිගටම දේශීය හා ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ බවත්, තරග තීරකගේ වාර්තාවල මේ කලහකාරි හැසිරීම් පිළිබඳව කිසිදු වාර්තාවක් නොතිබූ බවත් විනිසුරු පවසා සිටියා. 

ශ්‍රීසාන්ත්ගේ අභියාචනාව වත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විභාග කර නොමැති බව පැවසූ විනිසුරු එම තරග පාවාදීමේ ක්‍රියාව නිසා තරගයේ ප්‍රතිඵලයට හෝ තරගාවලියේ ප්‍රතිඵලයට හානියක් මෙන්ම තරගාවලියේ මූල්‍ය වටිනාකමට ද  කිසිදු හානියක් සිදු නොවීම නිසා ශ්‍රීසාන්ත්ගේ දඬුවම ලිහිල් කළ යුතු බව පවසා සිටියා.

වේගපන්දු යවන්නෙක් ලෙස ශ්‍රීසාන්ත්ගේ හොඳම කාලය දැන් අවසාන වී ගෙන යන බවත් ඔහු දැනටමත් වසර හයක් ක්‍රීඩා කර නොමැති බවත් විනිසුරු අවසන් වශයෙන් පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<