ජාතික කබඩි කිරුළු නැගෙනහිරට

ජාතික කබඩි ශූරතාවය 2022

736

වසර දෙකකට පසුව පැවැත්වූ ජාතික කබඩි ශූරතාවයේ අවසන් පූර්ව වටයේ, තෙවැනි ස්ථානය සඳහා වූ තරග සහ අවසන් මහා තරග අද (10) ක්‍රීඩා අමාත්‍යාංශයේ දැල්පන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුණා.

කාන්තා අංශයේ කණ්ඩායම් 15කට අධික සංඛ්‍යාවක් සහ පිරිමි අංශයේ කණ්ඩායම් 25කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගැනීමට කිලිනොච්චි සහ අම්පාර කණ්ඩායම් සමත් වුනා.

පිරිමි අවසන් මහා තරගය

අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික් කණ්ඩායම් අතර පැවති මෙම තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට අම්පාර ක්‍රීඩකයින් සමත් වුනා.

ආරම්භයේ සිටම මඩකලපු දිස්ත්‍රික් කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කළ අම්පාර ක්‍රීඩකයින් පළමු අර්ධයේ පෙරමුණ ලබා ගත්තේ ලකුණු 25-13ක් ලෙස පළමු අර්ධය අවසන් කරමිනුයි.

දෙවැනි වටයේ ද සිය ආධිපත්‍ය පැතිරවූ අම්පාර ක්‍රීඩකයින් මඩකලපු ක්‍රීඩකයින් කිහිප වරක් දවා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ අතර අවසන් ලකුණු තත්වය දැක්වුණේ 56-20ක් ලෙසයි.

එම ජයග්‍රහණයත් සමඟින් ජාතික කබඩි ශූරතාව තමන් සතුකර ගැනීමට අම්පාර ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අම්පාර කණ්ඩායම නියෝජන කළ අස්ලාම් සාජා සම්මාන දිනා ගත්තා.

කාන්තා අවසන් මහා තරගය

ජාතික කබඩි ශූරතාවයේ කාන්තා අවසන් මහා තරගයෙන් යාපනය ක්‍රීඩිකාවන් පරදවා ජයග්‍රහණය ලබා ගැනීමට කිලිනොච්චි ක්‍රීඩිකාවන් සමත් වුනා.

ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු අර්ධය ලකුණු 21-16ක් ලෙස කිලිනොච්චි ක්‍රීඩිකාවන් පසුපසට ඇද දමමින් පෙරමුණ ගත්තේ යාපනය ක්‍රීඩිකාවන් විසිනි.

පෙර අර්ධයේ සිදු වූ අඩුපාඩු මග හරවා ගනිමින් දෙවැනි අර්ධයට පිවිසි කිලිනොච්චි ක්‍රීඩිකාවන් දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් යාපනය ක්‍රීඩිකාවන් සියල්ල දවා ගැනීමට සමත් වන විට මුළු ලකුණු සංඛ්‍යාව දැක්වුණේ ලකුණු 36-31ක් ලෙසයි.

එම අර්ධය තුළ දී යාපනය ක්‍රීඩිකාවන් සියල්ල නැවත වරක් දවා ගැනීමට කිලිනොච්චි ක්‍රීඩිකාවන්ට හැකි වීම නිසාවෙන් ලකුණු 49-40ක් ලෙස තරගය ජය ගනිමින් ජාතික කිරුළ දිනා ගැනීමට කිලිනොච්චි ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිලිනොච්චි කණ්ඩායම නියෝජනය කළ පී. ධනුෂා අභිෂේක ලැබුවා.

එමෙන්ම අද සවස් වරුවේ පැවති තෙවැනි ස්ථානය සඳහා වූ තරගවලින් පිරිමි තරගය ලකුණු 40-39ක් ලෙස කිලිනොච්චිය පරදවා ජයග්‍රහණය කිරීමට අනුරාධපුර ක්‍රීඩකයින් සමත් වූ අතර කාන්තා තරගයෙන් ලකුණු 33-29ක් ලෙස කළුතර ක්‍රීඩිකාවන් පරදවා ජයග්‍රහණය ලැබුවේ මඩකලපුව ක්‍රීඩිකාවන් විසිනුයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<