අකලංක පීරිස් ලොව හොඳම 50 අතරට

323

ජාත්‍යන්තර පිහිනුම් සම්මේලනයේ නව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිරිමි පසුපස ආර ඉසව්වේ ලොව හොඳම ක්‍රීඩකයින් 50 අතරට පැමිණීමට ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස්ට හැකිව තිබෙනවා.

මේ වන විට 21 වැනි වියේ පසුවන ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2018 ආසියානු ක්‍රීඩා උළෙලට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කළ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100×4 සහය ඉසව්ව නියෝජනය කරමින් පළමු වරට පොදු රාජ්‍ය මණ්ඩලීය අවසන් තරගයකට සුදුසුකම් ලබා ගැනීමට ඔහු ඇතුළු කණ්ඩායමට හැකි වුනා.

එමෙන්ම ඔහු 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම් දිනා ගත් නමුත් ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය නිසාවෙන් ඔහුට වසරකට අධික කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුනා.

මාස දෙකක පමණ පුහුණුවකින් පසුව ඔහු මේ දිනවල දී අබුඩාබි නුවර පැවැත්වෙන FINA ලෝක ශූරතාවයේ පිරිමි මීටර් 50 සහ 100 පසුපස ආර ඉසව්වන්ට සහභාගී වූ නමුත් එහි අවසන් 8 අතරට පිවිසීමට ඔහුට හැකි වුනේ නැහැ.

නමුත් එහි දී ඔහු දැක්වූ දස්කම් නිසාවෙන් පිරිමි මීටර් 50 සහ 100 ඉසව්වන්හී ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු 50 අතරට පිවිසීමට ඔහුට හැකි වීම කැපී පෙනුණා.

කොරෝනා වසංගත තත්වය යටතේ අඩු පුහුණු වීමක් සහිතව ඔහු දැක්වූ දස්කම් කැපී පෙනෙන අතර 2022 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ඔහු තීරණාත්මක ක්‍රීඩකයෙකු බවට පත්වී අවසන්‍.

දිනෙන් දින සිය දස්කම් දියුණු කර ගනිමින් පිහිනුම් ක්‍රීඩාවෙන් ලක් මාතාවට ජාත්‍යන්තර පදක්කම් ගෙන ඒමට අලංකට හැකියාව ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<