වසර දෙකකට පසුව ජාතික කබඩි ශූරතාවයට සියල්ල සූදානම්

ජාතික දිස්ත්‍රික් කබඩි ශූරතාවය 2022

303

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් 2022 වසරට සංවිධානය කරනු ලබන “ජාතික දිස්ත්‍රික් කබඩි ශූරතාවය” මේ මස 8, 9 සහ 10 දිනවල ක්‍රීඩා අමාත්‍යාංශ දැල්පන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නිසාවෙන් වසර දෙකකට ආසන්න කාලයක් තරගාවලිය පවත්වන්නට සංවිධායකයින්ට නොහැකි වූ අතර මෙවර නව මුහුණුවරකින් තරගාවලිය පැවැත්වීමට සංවිධායකයින් සූදානමින් පසුවනවා.

ජාතික ශූරතාවය කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් විවෘත තරගාවලියක් ලෙස සංවිධානය කරන අතර කාන්තා කණ්ඩායම් 15කට අධික සංඛ්‍යාවක් සහ පිරිමි කණ්ඩායම් 25කට අධික සංඛ්‍යාවක් ශූරතාවය වෙනුවෙන් තරග කිරීමට නියමිතයි.

තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට 8 සහ 9 දිනවල දී පැවැත්වීමට නියමිත අතර ඉන් ප්‍රමුඛ ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් 10 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් පූර්ව, තෙවැනි ස්ථාන සහ ජාතික ශූරයින් අභිෂේක ලබන අවසන් මහා තරග සඳහා සහභාගී වීමට නියමිතයි.

අවසන් මහා තරග සහ ජයග්‍රාහකයින්ට ජයසංකේත ප්‍රදානය සඳහා ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිත අතර මෙරට ක්‍රීඩාලෝලීන්ට නවමු අත්දැකීමක් තිළිණ කරමින් තරගාවලියේ තෙවැනි ස්ථාන සඳහා වන තරග සහ ජාතික ශූරයින් අභිෂේක ලබන අවසන් මහා තරග ThePapare.com ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<