2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ දින දහයකටත් අඩු කාලයකි. පසුගිය වසරේ දී සිතූ තරම් පොලිස් කණ්ඩායම වාසනාවන්ත  නොවුනත් ඔවුන් ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම පරාජය කරා රැගෙන යන්නට සමත් විය. ඔවුන් ජය ගත්තේ එක් තරගයක් පමණක් වුවත් පසුගිය තරග වාරයේ අවසන් භාගයේ ඔවුන් කිසිදු කණ්ඩායමකට ලෙහෙසියෙන් දිනන්නට ඉඩ ලබා දුන්නේ නැත.

ගුවන් හමුදාව නව බලාපොරොත්තු සමඟින් ඉගිළෙන්නට සැරසේ

ඩයලෝග් අන්තර් සමාජ රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම් රැසක් භීතියට පත් ……

අතීතයෙන් බිඳක්

1926 දී ඇරඹුණු පොලිස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ පැරණිතම රග්බි ක්‍රීඩා සමාජයකි. 1961 දී B කාණ්ඩයෙන් අන්තර් සමාජ තරගාවලියට අවතීර්ණ වූ ඔවුන් 1967 දී A කාණ්ඩය හෙවත් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත් විය.

කෙමෙන් කෙමෙන් අන්තර් සමාජ තරග බිමේ කැපී පෙනුණු ඔවුන් ප්‍රධාන තරගාවලියට ඇතුළු වීමෙන් වසර 12කට පසුව සිය පළමු අන්තර් සමාජ කිරුල දිනා ගැනීමට සමත් විය.

සුපිරි ක්‍රීඩක නිමල් ලෙව්කේගේ නායකත්වයෙන් 1979 දී ඔවුන් මංගල අන්තර් සමාජ ලීග් කිරුල දිනා ගත් අතර එතැනින් නොනැවතුණු ඔවුන් 1980 දී අඛණ්ඩව දෙවන වරටත් ශූරතාවය දිනා ගත්තේ පොලිස් ක්‍රීඩා සමාජයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමිනි.

එතැන් සිට කිහිප වරක්ම අන්තර් සමාජ කිරුල දිනා ගන්නට පොලිස් ක්‍රීඩා සමත් වෙද්දී පොලීසියේ සාර්ථකම වසර කිහිපය ඇරඹෙන්නේ 1989 දී හාෆිස් මර්සෝ නායකත්වයට පත් වීමෙන් අනතුරුවයි. 1989 දී අන්තර් සමාජ ක්‍රීඩා පිටිය දෙවනත් කළ පොලිස් ක්‍රීඩා සමාජය එම වසර තුළ දී අන්තර් ක්‍රීඩා සමාජ ශූරතා තුනම දිනා ගනිමින් ‘ත්‍රිත්ව කිරුළු ශූරයින්’ බවට අභිෂේක ලැබීය.

පොලිස් ක්‍රීඩා සමාජයෙන් ඊබ්‍රහිම් හමීඩ්, සුදත් සම්පත් හා නිසාම් ජමල්ඩීන් වැනි සුපිරි ක්‍රීඩකයින් ජාතික තලයට පිවිසුණේ පොලිස් ක්‍රීඩා සමාජයේ වටිනාකම මනාවට පැහැදිලි කරමිනි.

කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය පොලිස් ක්‍රීඩා සමාජයට එතරම් සුබ වූයේ නැහැ. 2016 දී හා 2017 දී ඉතිහාසයේ පළමු වතාවට වාර්තාගත ලෙස පල්ලම් බසින්නට ඔවුන්ට සිදු වූ අතර එම වසර දෙකම ඔවුන් තරගාවලිය අවසන් කළේ හත්වැනි ස්ථානයෙනි.

පසුගිය තරග වාරය

ඉහත කී පරිදිම පසුගිය තරග වාරය නම් පොලිස් ක්‍රීඩා සමාජයට එතරම් සුබ වූයේ නැත. ඔවුන් සහභාගී වූ තරග දාහතරෙන් ඔවුන් ජය ගත්තේ එක් තරගයක් පමණක් වූ අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් විය. ඔවුන් පරාජය වූ තරග ගණන එකොළහක්.

පසුගිය තරග වාරයේ ආරම්භයේ දී පොලිස් ක්‍රීඩා සමාජය එතරම් හොඳින් ක්‍රීඩා නොකළත් නොසිතූ ලෙස හැව්ලොක් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී පොලිස් ක්‍රීඩකයින් සුපිරි දස්කම් අතරට පිවිසුණේ ප්‍රේක්ෂකයින් මවිත කරමිනි. අවාසනාවන්ත ලෙස එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනත් එතැන් සිටි පැවති තරගවල දී ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කළේ ප්‍රබල කණ්ඩායම් කිහිපයකටම අභියෝගයක් වෙමිනි.

දෙවන ස්ථානයෙන් ඉහළට යන්නට නාවිකයින්ට හැකි වෙයි ද?

2018-19 ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ආරම්භයට ඇත්තේ තවත් දින කිහිපයක් …….

නව තරග වාරයට සූදානම

නව නායකයෙකු සමඟ මෙවර තරගාවලියට පිවිසෙන පොලිස් ක්‍රීඩා සමාජය අනෙක් කණ්ඩායම් සියල්ලටම අභියෝගයක් වනු නොඅනුමානයි. Flyhalf ස්ථානයේ ක්‍රීඩා කරන චානක උදාර හට පොලිස් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර ඔහුගේ අත්දැකීම් කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

පොලිස් ක්‍රීඩා සමාජය කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ අවසන් මහා තරගය දක්වා පැමිණීමට සමත් වූ අතර එම අදියරේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා වූ කසුන් සුරංග මෙවර පොලිස් කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වනු ඇත.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන රොමේෂ් ආචාරිගේ හා පසුගිය වසරේ කණ්ඩායම මෙහෙයවූ ජයංග සිල්වා මෙවර කණ්ඩායමේ ශක්තිය වනු ඇත. නවක ක්‍රීඩකයින්ට උපකාර කරමින් ඔවුන්ට මෙන්ම නායකයාට ද සිය සහයෝගය ලබා දීම ඔවුන්ගේ ප්‍රධානතම වගකීම වනු ඇත.

ශම්ලි නවාස් පොලිස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහු ThePapare.com වෙත පවසා සිටියේ පොලිස් ක්‍රීඩා සමාජය සිය ශක්තීන්ට අනුව ක්‍රීඩා කිරීමට සූදානම් බවයි.

පොලිස් ක්‍රීඩා සමාජය සිය පළමු තරගය සඳහා නාවික හමුදාව සමඟින් නොවැම්බර් 12 වැනිදා තරග වදිනු ඇත. පොලිස් ක්‍රීඩා සමාජයට මෙවර තරගාවලියේ වෙනසක් සිදු කිරීමට හැකි වෙයි ද? රැඳී සිටින්න 2018/19 ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සියලු තොරතුරු හා රූපරාමු සඳහා ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමගින්.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

පොලිස් ක්‍රීඩා සමාජයේ සම්පූර්ණ සංචිතයට මෙතැනින් පිවිසෙන්න