2024 ILT20 තරගාවලියට දින නියම වෙයි

ILT20 2024

486

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සංවිධානය කරනු ලබන ILT20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ලබන වසරේ ජනවාරි 19 වැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා.

කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු අදියර ජයග්‍රහණය කිරීමට Gulf Giants සමත් වූ අතර එහි අනුශූරතාව හිමි වුනේ Desert Vipers කණ්ඩායමටයි.

නමුත්, සාර්ථක තරග වාරයකින් පසු සිය දෙවැනි අදියර වෙනුවෙන් පිය මනින ILT20 තරගාවලිය, දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලිය සමඟ එකම කාලයක දී (SA20 තරගාවලිය ලබන වසරේ ජනවාරි 10 සිට පෙබරවාරි 10 තෙක් පැවැත්වීමට නියමිතයි.) පැවැත්වීමට සිදුවීම නිසා මෙම තරගාවලි ද්විත්වය සමඟම ගිවිසුම් ගත වී ඇති ක්‍රීඩකයින්ට යම් අර්බුදයකට මුහුණ පෑමට සිදු වනු ඇති.

මෙම ගැටලුව මෙම වසරේ දී ද ඇති වූ අතර, ඊට අමතරව පාකිස්තානයේ PSL තරගාවලිය (ආසන්න වශයෙන් පෙබරවාරි මාසයේ දී) සහ ඕස්ට්‍රේලියාවේ BBL තරගාවලිය (ආසන්න වශයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසවල) සමඟ ද මෙම තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ යම් ගැටීමක් සිදු වනු ඇති බව අනුමාන කළ හැකි.

එම නිසා මෙවර තරගාවලිය වෙනුවෙන් Dubai Capitals සමඟ ගිවිසුම් ගත වූ David Warner හට තරගාවලියේ මුල් තරග කිහිපය (BBL නිසා) මග හැරෙනු ඇත.

එමෙන්ම ලබන වසරේ ජනවාරි 25 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ඉන්දීය – එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නිසා Mark Wood, Joe Root වැනි ක්‍රීඩකයින් හට ද සම්පූර්ණ තරගාවලියට ම ක්‍රීඩා කිරීමට හැකි වේ ද යන ගැටලුවත් පැන නැගී තිබෙනවා.

එළඹෙන තරගාවලියේ දී Gulf Giants හැරුණු කොට අනෙක් සියලු ම කණ්ඩායම් සමඟ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සම්බන්ධ වී සිටින අතර ගිය වර තරගාවලියට වරම් නොලද නුවන් තුෂාර, සදීර සමරවික්‍රම, කුසල් පෙරේරා වැනි ක්‍රීඩකයින් ද ඒ අතර සිටීම විශේෂත්වයක්.

නමුත් මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරග පැවැත්වුණ හොත් මෙම ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුට ද තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වේ ද යන ගැටලුවත් මතු වනවා.

කෙසේ වෙතත් තරගාවලියේ නිල කාලසටහන ඉදිරි දිනයක දී නිකුත් කරනු ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ. තරග 34ක් සමන්විත මෙම තරගාවලියේ මූලික වටය තරග 30කින් ද, Play-Off වටය තරග 4කින් ද (අවසන් තරගය ද ඇතුළුව) සමන්විත වනවා.

2024 ILT20 තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<