නව ක්‍රීඩා ඇමතිතුමා උත්සවශ්‍රීයෙන් වැඩ භාරගනී

240

පසුගිය දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ගරු නාමල් රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමේ උත්සවය අද (18) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවය සඳහා සහභාගි වී සිටි අතර මහා සංඝරත්නය විසින් පන්සිල් සමාදන්කරවීමෙන් පසුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණි.

එම කටයුතුවලින් අනතුරුව මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනාව මධ්‍යයේ ගරු නාමල් රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමේ ලිපියේ අත්සන් කෙරූ අතර ඔහුගේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තේනුක විදානගමගේ මහතා ද සිය රාජකාරි අරඹන ලදි.

තවත් ක්‍රීඩා පුවත් 

මෙම මස 05 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පෙනී සිටි නාමල් රාජපක්ෂ මහතා මනාප 166,660ක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයේ මුල් තැනට පත් වූ අතර පසුගිය 12 වැනිදා පැවති නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ උත්සවයේ දී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම ලබා ගත්තේය.

එතුමාගේ වසර 10කට ආසන්න දේශපාලන දිවිය තුල කැබිනට් අමාත්‍ය ධුරයකට පත් වූ මුල්ම අවස්ථාව මෙය වූ අතර ජාතික කණ්ඩායමක නායකත්වය දැරූ මෙරට මුල්ම ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම මෙරට බිහිවූ ළාබාලතම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ද ඔහු ඉතිහාසගත විය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<