Java Lane සහ New Star ක්‍රීඩකයන් දෙවන වටයේ අසුන් වෙන්කර ගනියි

Vantage FFSL President’s Cup 2020

204

Vantage FFSL President’s Cup 2020 තරගාවලියේ අද (17) පැවති තරගවලින් Blue Star, Moragasmulla SC, New Youngs සහ Matara City ක්‍රීඩකයින් පරදවමින් Java Lane, New Star, Renown සහ Up Country Lions ක්‍රීඩකයන් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

Blue Star SC – Up Country Lions SC 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය A කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට Blue Star ක්‍රීඩකයන්ට ඉතා වැදගත් තරගයක් වූ අතර තරගයේ 30 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට ලැබූ පන්දුවක් ස්ථානගත කරමින් තරගයේ මුල්ම ගෝලය රැස්කිරීමට Up Country ක්‍රීඩක ලක්මාල් සමත් විය.

40 වැනි මිනිත්තුවේ දී Up Country ක්‍රීඩකයින්ට හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව වැළැක්වීමට කවීෂ් ප්‍රනාන්දු සමත් විය. අනතුරුව මුල් අර්ධයේ අමතර කාලයේ දී (45+4’) Blue Star ක්‍රීඩක ශෙනාල් සංදේශ් ගෝලයක් වාර්තා කිරීමට සමත් වීම නිසාවෙන් මුල් අර්ධය ගෝල සමව අවසන් කිරීමට Blue Star ක්‍රීඩකයන්ට හැකි විය.

දෙවැනි අර්ධයේ 56 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය රැස්කිරීමට Up Country ක්‍රීඩක චන්ද්‍රරත්න සමත් විය. 66 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් පිටත සිට අලංකාර පහරක් එල්ල කරමින් තම කණ්ඩායමේ තෙවැනි ගෝලය රැස්කිරීමට Up Country ක්‍රීඩක ඊබ්‍රාහිම්ට අවස්ථාව හිමි විය.

එම ගෝලයෙන් අනතුරුව තරගයේ 71 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවේ සිට පන්දුව හිසින් ගෝල රාමුවට එල්ල කරමින් සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය රැස්කිරීමට Blue Star ක්‍රීඩක මොහමඩ් නජ්මාන් සමත් වුවත් තරගයේ වෙනසක් කිරීමට එය ප්‍රමාණවත් නොවීය.

අවසන් ලකුණු තත්වය Blue Star SC 02 (01) – 03 (01) Up Country Lions SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

Blue Star SC: ශෙනාල් සංදේශ් (45+4’), මොහමඩ් නජ්මාන් (71’) 

Up Country Lions SC: ලක්මාල් (30’), චන්ද්‍රරත්න (56’), ඊබ්‍රාහිම් (66’)


Java Lane SC – Moragasmulla SC 

තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගයේ ගෝල වාර්තා කරගැනීමට තිබූ අවස්ථාවන් කිහිපයක්ම දෙපිළෙහිම ගෝල රකින්නන්ගේ දස්කම් නිසාවෙන් අසාර්ථක විය. නමුත් තරගයේ 36 වැනි මිනිත්තුවේ දී තරගයේ මුල්ම ගෝලය රැස්කරමින් මුල් අර්ධය සාර්ථකව අවසන් කිරීමට Java Lane නායක මොහොමඩ් රිස්කාන් සමත් විය.

වාසිදායක අර්ධයකින් පසුව දෙවැනි අර්ධය ආරම්භ කළ Java Lane ක්‍රීඩකයන් වෙනුවෙන් තරගයේ 49 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ දී ම හිමි වූ පහසු අවස්ථාවක් සාර්ථක කරගනිමින් දෙවැනි ගෝලය රැස්කර දීමට නවීන් ජූඩ් සමත් විය. තරගයේ 62 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් පිටත සිට එල්ල කළ පහරක් මඟින් සිය කණ්ඩායම වෙනුවෙන් තෙවන ගෝලය රැස්කර දීමට සමත් වූයේ Java Lane ක්‍රීඩක මොහොමඩ් අලීම් ය.

එම ගෝලයත් සමඟින් තරගයම සිය ආධිපත්‍යට ගැනීමට සමත් වූ Java Lane ක්‍රීඩකයන්, තරගයේ 65 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගයේ සිව්වැනි ගෝලය රැස්කර ගැනීමට සමත් විය. මාලක පෙරේරා විසින් එම ගෝලය වාර්තා කළ අතර තරගයේ 73 වැනි මිනිත්තුවේ දී මධුරංග ද සිල්වා වාර්තා කළ ගෝලයත් සමඟින් A කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මුල් වටය නිමා කිරීමට Java Lane ක්‍රීඩකයන් සමත් විය.

අවසන් ලකුණු තත්වය: Java Lane SC 05 (01) – 00 (00) Moragasmulla SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

Java Lane SC: මොහොමඩ් රිස්කාන් (36’), නවීන් ජූඩ් (51’), මොහොමඩ් අලීම් (62’), මාලක පෙරේරා (65’), මධුරංග ද සිල්වා (73’) 

තවත් කියවන්න


New Youngs FC VS New Star SC 

සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය B කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම තේරීම සඳහා තීරණාත්මක තරගයක් වූ අතර තරගයේ 40 වැනි මිනිත්තුවේ දී මුස්තාක් ලබා දුන් පන්දුවක් සාර්ථකව ස්ථානගත කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දීමට New Star ක්‍රීඩක අනාස් සමත් විය.

සාර්ථක මුල් අර්ධයකින් පසුව පිටියට පිවිසි New Star ක්‍රීඩකයන් හට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට New Youngs ක්‍රීඩකයන් සමත් වූ නමුත් තරගයේ 80 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ අනාස් සිය කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය ද රැස්කර දීමට සමත් විය. තරගයේ 88 වැනි මිනිත්තුවේ දී මුස්ටාක් වාර්තා කරගත් ගෝලයත් සමඟින් සිය කාණ්ඩයේ පෙරමුණ ගැනීමට New Star ක්‍රීඩකයන්ට හැකි විය.

අවසන් ලකුණු තත්වය: New Youngs FC 00 (00) – 03 (00) New Star SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

New Star SC: අනාස් (40’, 80’), මුස්තාක් (88’)  


Renown SC – Matara City 

තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගයේ 3 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට යොමුකළ පන්දුවක් හිසින් ස්ථානගත කරමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට Renown ක්‍රීඩක දිලීප් පීරිස් සමත් වූ අතර කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන්ට ගෝල වාර්තා කරගැනීමට තිබූ ආසන්න අවස්ථාවන් කිහිපයක්ම මඟහැරීම නිසාවෙන් පළමු අර්ධය Renown ක්‍රීඩකයන්ට වාසි ගෙන දෙමින් අවසන් විය.

පසුබෑමට ලක්වූ මුල් අර්ධයකින් පසුව තරගයේ 52 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් පිටත සිට එල්ල කළ වේගවත් පහරක් ගෝලයක් බවට පරිවර්තනය කරගනිමින් ලකුණු තත්වය සම කිරීමට Matara ක්‍රීඩක ප්‍රින්ස් සමත් විය. නමුත් තරගයේ 74 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ සිට ගෝල රාමුවට පහරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රාහී ගෝලය රැස් කිරීමට Renown ක්‍රීඩක රාසා සමත් විය.

අවසන් ලකුණු තත්වය: Renown SC 02 (01) – 01 (00) Matara City

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

Renown SC: දිලීප් පීරිස් (03’), රාසා (74’)

Matara City: ප්‍රින්ස් (52’) 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්නපාපන්දු ක්රීඩා පිටුවට <<