Pooranව මිල දී ගැනීම ගැන මුරලි කතා කරයි

6825

බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස මෙන්ම, වේගයෙන් ලකුණු රැස් කිරීමට සමත් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ද නම් දරා සිටින Nicholas Pooran හට පසුගිය IPL තරග වාරයේ දී අපේක්ෂා කළ අයුරින් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූයේ ඔහුගේ IPL අනාගතය සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතතාවයක් ඉස්මතුකොට තබමිනි.

තත්වය එසේ තිබිය දී ද ඉකුත් දා නිමාව දුටු 2022 IPL තරග වාරයට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 10.25ක වාර්තාගත මුදලකට තම වටිනාකම තක්සේරු කර ගත් Pooran ඔහුගේ නව කණ්ඩායම වන Sunrises Hyderabad නියෝජනය කරමින් මෙවර තරගාවලිය ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන්නේ බොහෝ දෙනෙකු Sunrisers කළමනාකාරිත්වය ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටින පසුබිමකයි.

කෙසේ නමුත් තමන් මෙවැනි තීරණයක් ගැනීම පසුපස පැහැදිලි තර්කානුකූල විමසීමක් පවතින බව අවධාරණය කර සිටින Sunrisers කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු Muttiah Muralitharan පෙන්වාදි සිටියේ, ඔවුන්ගේ සැලසුම් තුල යොවුන් ක්‍රීඩක Ishan Kishan සිටි නමුත් ඔහු වෙනුවෙන් අනුමානකොට තිබූ මුදල් ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමක් නියම වීම නිසා මෙවැනි තීරණයකට එළඹීමට කළමනාකාරිත්වය එකඟ වූ බවයි.

“අපි මුලින්ම කල්පනා කළේ Ishan Kishanව අපිට මිල දී ගැනීමට හැකි වුනොත් ඒක විශාල ජයග්‍රහණයක් කියලයි. නමුත් අපි අපේක්ෂා කරපු මුදල් සීමාව ඉක්මවා ඔහුගේ වටිනාකම නියම වුන නිසා අපි එතැනින් එහාට ඒ වෙනුවෙන් සටන් කරන එක අතහැර දැමුවා. ඊළඟට අපි කල්පනා කළා Jonny Bairstowගේ සේවය අපිට ලබාගන්න පුළුවන් වෙයි ද කියලා මුළු තරග වාරය පුරාවටම. එතනත් යම්කිසි අවිනිශ්චිත ස්වභාවයක් තියෙන නිසා ඊළඟ හොඳම තීරණය විදියට අපි දැක්කේ Nicholas Pooran කණ්ඩායමට එකතු කරගැනීම.”

“අපි හොඳින්ම විශ්වාස කරනවා Pooran අපිත් සමඟ එකතු වෙලා නැවත දක්ෂතා අතරට එන්න අවශ්‍ය අඩිතාලම සකස් කර ගනී කියලා. අනෙක් කණ්ඩායම් ඔහු වෙනුවෙන් ලොකු මුදලක් ආයෝජනය කරන්න කැමති වීමෙන්ම පෙනෙන්න තියෙන කාරණාව තමයි ඔහු ක්ෂණයකින් තරගයක් වෙනස් කළ හැකි තරග දිනවන්නෙක් කියන එක.”

Hindustan Times ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<