වොලිබෝල් ජාතික තරගාවලිය ලබන මාසයේ

363
Munchee National Volleyball Tournament 2016

වසරක විවේකයකින් පසුව නැවතත් වොලිබෝල් ශූරයින් සහ ශූරියන් සොයා පැවැත්වෙන ජාතික වොලිබෝල් ශූරතාවලිය මන්චී සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ ඔක්තෝම්බර් මස 16 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

පසුගිය ලිපි: වයඹ පළාත් ක්‍රීඩකයෝ වෙරළේ වැඩ පෙන්වයි

කලින් සඳහන් කල ආකාරයටම  මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ වසරක විවේකයකින් අනතුරුවයි. සුපුරුදු පරිදි මෙවර තරගාවලියත් ආධුනික (කාන්තා/ පිරිමි) සහ සුපර් ලීග් (කාන්තා/ පිරිමි) ලෙස කාණ්ඩයන් දෙකක් යටතේ පැවැත්වෙනු ඇත.

ආධුනික තරග වටයන් සඳහා ක්‍රීඩා සමාජ හැරුනු කොට පාසල්, යෞවන සමාජ, ආයතන ඇතුළු සංවිධානවලින්ද කණ්ඩායම් ඉදිරිපත් කල හැකිය. නමුත් සුපර් ලීග් කණ්ඩායම් සඳහා ආධුනික තරග වලට ඉදිරිපත් විය නොහැක.

ආධුනික තරගාවලියේ ශූරයින්ට රු.50 000ක් ද, අනුශූරයින්ට රු. 30 000ක් ද. තෙවැනි ස්ථානය දිනාගන්නන්ට රු. 20 000ක්ද ප්‍රදානය කරනු ලබයි.

ආධුනික කාන්තා සහ පිරිමි කාණ්ඩයේ තරග සඳහා නවක කණ්ඩායම් සහභාගී කරවා ගන්නා අතර මේවන විටත් කණ්ඩායම් ලියාපදිංචි කරගැනීම ආරම්භ කර ඇත. අයදුම්පත් ඔක්තෝම්බර් 15ට පෙර කමිටු ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට තැපැල් මඟින් හෝ [email protected] යන විද්‍යුත් තැපැලට එවීමෙන් හෝ 0112-663944 යන ෆැක්ස් අංකය හරහාද අයදුම්පත ලබාදිය හැකිය.

ඡායාරූප ඇල්බමය

ආධුනික තරගාවලියේ මූලික වටයේ තරග දිස්ත්‍රික්ක හා කලාප 25ක ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝම්බර් මස 16 වනදා සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වෙන අතර අවසන් වටයේ තරග නොවැම්බර් 10 වැනිදා සිට නොවැම්බර් 20 වැනිදා දක්වා අනුරාධපුර හෝ රත්නපුර නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇත.

සුපර් ලීග් තරගාවලියේ තරග නොවැම්බර් 10 වැනිදායින් ආරම්භ වන අතර ඊට දිවයිනේ සිටින ප්‍රමුඛතම වොල්බෝල් කාන්තා සහ පිරිමි කණ්ඩායම් 8 බැඟින් තරග වැදෙනු ඇත. සුපර් ලීග් මූලික වටයේ තරග නොවැම්බර් 10 වැනි දා සිට 16 වැනි දා දක්වා මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදි පැවැත්වෙන අතර අවසන් තරගය නොවැම්බර් 29 වැනි දා තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

සුපර් ලීග් ශූරයින් සඳහා රු. 100 000 ද, අනුශූරයින් සඳහා රු. 75 000ක් ද, තෙවැනි ස්ථානය සඳහා රු. 50 000ක් ද ප්‍රදානය කරනු ලැබේ.

අවසන් වරට පැවැත්වුනු තරගාවලියේදි සුපර් ලීග් තරගාවලියේ පිරිමි ශූරතාවය දිනා ගැනීමට යුද හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර විදේශ සේවා කණ්ඩායම කාන්තා ශූරතාවය සඳහා හිමිකම් කියන ලදි.

සුපර් ලීග් තරගාවලියට සහභාගී වන කණ්ඩායම්:

පිරිමි ‍| ගුවන් හමුදා, යුද හමුදා, නාවික හමුදා, පොලිස්, විදුලිබල මණ්ඩල, තරුණ සේවා, වරාය අධිකාරිය, හා වෙළඳ සේවා ඒකාබද්ධ යන ක්‍රීඩා සමාජයන්

කාන්තා | ගුවන් හමුදා, යුද හමුදා, නාවික හමුදා, පොලිස්, වරාය අධිකාරිය, කැෂුවලයින්, තරුණ සේවා සහ බ්‍රැන්ඩික්ස් යන ක්‍රීඩා සමාජයන්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට