බ්‍රැඩ්බි පළිහටත්, ලීග් ශූරතාවයටත් ඉව අල්ලමින් ත්‍රිත්ව සිංහයෝ සටනට!

438

ශ්‍රී ලාංකීය පාසල් රග්බි පිටියේ පළමු පාසල් රග්බි තරගය ක්‍රීඩා කිරීමට වාසනාවන්ත වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට පාසල් රග්බි පිටියේ සුවිශේෂ සලකුණක්. ගෙවුණු වසර කිහිපය ත්‍රිත්ව සිංහයින්ට එතරම් සුභදායී නොවුනත් මෙවර ඔවුන් සිංගර් ලීග් රග්බි තරගාවලියට පිවිසෙන්නේ බලාපොරොත්තු රැසක් සමඟින්.

ත්‍රිත්වයින්ගෙන් සත්කාරක ක්‍රීඩකයින්ට අමිහිරි අත්දැකීමක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සහිරා විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය අතර අද (2) පැවති තරගයෙන්

අතීතයෙන් බිඳක්

1906 වසරේ දී රග්බි ක්‍රීඩාව ආරම්භ කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා කරන පැරණිතම පාසලක්. පස් වතාවක් අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව දිනා ඇති ඔවුන් 1974, 1975, 1977, 1983, 1987 යන වසරවල දී පාසල් පිටියේ කිරුළු දරන්නට සමත් වුනා. කෙසේ වෙතත් ගෙවුණු කාලය තුළ ඔවුන්ට සිතූ තරම් දස්කම් දක්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අවසාන වරට ඔවුන් ලීග් රග්බි ශූරතාවයක් දිනා ගත්තේ මීට වසර 30කට පෙර වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම ද්වන්ද රග්බි සටන වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර බ්‍රැඩ්බි ශූරතා සටහනේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත්ව සිටින්නේ ද මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි. ඒ වාර්ෂිකව පැවැත්වෙන බ්‍රැඩ්බි පලිහ තරගාවලියේ ශූරතා 39-32ක් ලෙස ඉදිරියෙන් සිටිමින්. තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇති අතර මෙවර පැවැත්වෙන්නේ 75 වන ශූරතාවයයි.

කොළඹ රාජකීය විද්‍යාලයත්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් අතර බ්‍රැඩ්බි ශූරතාවලිය ආරම්භ වුනේ 1945 වසරේදීයි.

කෙසේ වෙතත් ත්‍රිත්ව විද්‍යාලය බ්‍රැඩ්බි අත්දැකීම ද මෑත කාලයේ එතරම් සාර්ථක වූයේ නැහැ. අවසන් වරට ඔවුන් බ්‍රැඩ්බි පලිහ මහනුවරට රැගෙන ගියේ 2014 වසරේදී යි. 2016 වසරේ දී බ්‍රැඩ්බි තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වීම විශේෂත්වයක්. අවසන් වරට බ්‍රැඩ්බි පලිහ මහනුවරට රැගෙන ගිය ත්‍රිත්ව කණ්ඩායමේ නියමුවා වූයේ වර්තමානයේ CR කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දක්වන තරින්ද රත්වත්තයි.

(2014 ත්‍රිත්ව බ්‍රැඩ්බි ජයග්‍රහණයේ අවස්ථාවක්)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පහස ලබා දේශීය රග්බි පිටියට පිවිසුණු තරු බොහෝ සිටිනවා. ඉන්ති මරික්කාර්, මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ෂෝන් විජේසිංහ, ප්‍රදීප් බස්නායක ඉන් කිහිප දෙනෙක්.

පසුගිය තරග වාරය

පසුගිය තරගවාරය ගෙවුණු දශකයේ අසාර්ථකම තරගවාරය ලෙස ත්‍රිත්ව රග්බි ඉතිහාසයට එක්වනු ඇත. ඒ ඔවුන් ලීග් තරගාවලියේ සහභාගී වූ තරග නවයෙන් ජය ගැනීමට සමත් වූයේ තරග හතරක් පමණක් බැවින්.

ඔවුන් 74 වැනි බ්‍රැඩ්බි ශූරතාවලියේ දී ද කොළඹ රාජකීයයින් හමුවේ දණ නැමුවේ එහි අදියර දෙකම පරාජය වෙමින්.

මෙවර සූදානම

අමිහිරි මතක අමතක කර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර තරගාවලියට පිවිසෙන්නේ නැවුම් මුහුණු රැසක් සමඟින්.

නූලෙන් ගිලිහුණු කුසලානය සොයා යන මරදානේ සාන්තුවරු

රග්බි පිටියේ ප්‍රබල පාසල් රැසක් මට්ටු කරමින් මරදාන සාන්ත ජෝසප් රග්බි කණ්ඩායම මෑතකාලීන රග්බි පිටියේ පෙරළි රැසක් සිදු

ෆුල් බැක් හා වින්ග් ස්ථානවල ක්‍රීඩා කරන වේගවත් ධාවකයෙක් වන රෙෂාන් බණ්ඩාරනායක මෙවර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. අඛණ්ඩව තෙවැනි වසරට කණ්ඩායම නියෝජනය කරන ඔහු ත්‍රිත්ව වර්ණවලින් පළමුපෙළ පිටියට පිවිසුණේ 2017 වසරේදීයි.

ත්‍රිත්ව විද්‍යාලය රග්බි කණ්ඩායම නවසීලන්තයේ දී කළ පුහුණු සංචාරයේ දී ඉහළ දස්කම් දැක්වූ ඔහු නායකත්වය සඳහා ඉහළින්ම නම් වූ ක්‍රීඩකයා බවට පත්වුනා. වසර කිහිපයක බ්‍රැඩ්බි අත්දැකීම්වලින් ද මනා ලෙස පෝෂණය වී ඇති ඔහු නවසීලන්තයේ වෙලින්ග්ටන් රග්බි ඇකඩමිය විසින් පිදෙන “හොඳම සංවර්ධනය වූ ක්‍රීඩකයා” (Best Development Player) යන සම්මානය ද දිනා ගත්තා.

බණ්ඩාරනායකට උපනායකයා ලෙස සහය දීමේ වගකීම හිමි වී ඇත්තේ දිරේන්ද්‍ර රත්වත්ත හටයි. ’Lock forward’ ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු Line out අවස්ථාවල දී මෙන්ම ගුවනට මුසු වූ පන්දු රැක ගැනීමේ දී ද කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අයෙක්. ඔහු ද නවසීලන්තයේ දී “වඩාත්ම උනන්දු වී/ මහන්සි වී ක්‍රීඩා කරන ක්‍රීඩකයා” (Most Hardworking Player) ලෙස සම්මාන දිනා ගත්තා.

A කාණ්ඩයට වරම් දිනා ගත් ‘කැස්ට්‍රෝ’ගේ මලියදේව රග්බි හමුදාව

සුරංගනා කතාවක් මෙන් වුවත් දැඩි කැපවීමෙන් හා නිසි මග පෙන්වීමෙන් B කාණ්ඩයේ සිට A කාණ්ඩයට පිවිසුණු කුරුණෑගල

නොම්මර අට ස්ථානයේ ද ඔවුන්ට ඉතා සුපිරි තුරුම්පුවක් සිටියි. පසුගිය වසරේ ද විශිෂ්ට දස්කම් දැක්වූ ලෙනොක්ස් කල්‍යානරත්න මෙවර කණ්ඩයමේ ප්‍රධානතම අවියක් වනු ඇත. ප්‍රතිවාදී ක්‍රීඩකයින් මැඩලමින් ඉදිරියට යාමට නමක් දිනා ගත් ඔහු ජයග්‍රහණයේ ලා ප්‍රධානතම සාධකයක් වනු ඇත.

වේගවත් ජනිදු රත්නායක කණ්ඩායමට සිය වේගයෙන් හා වේගවත් පාද චලනයන්ගෙන් සහය දක්වනු ඇත. පස්වැනි වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන අමිත් කුලතුංග මෙවර තරගවාරයේ ඉදිරිපෙළ හා පසුපෙළ සම්බන්ධීකරණය කිරීමේ බරපතලම වගකීම ඉටු කරනු ඇත. වේගවත් ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙකු වන ඔහුගේ අත්දැකීම් කණ්ඩායමේ සාර්ථකත්වයට ඉතා වැදගත් වනු ඇත.

මෙවර කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ පුහුණුකරුවෙකු වන ඉන්ති මරික්කාර් මහතායි. ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස ද කටයුතු කළ ඔහු ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායමට සුපිරි මග පෙන්වන්නෙක් වනු ඇත. ඒ අතරම හිටපු නවසීලන්ත සුපිරි රග්බි ක්‍රීඩකයෙකු වන Rodney So’oialo සති තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස කටයුතු කරන්නේ යොවුන් ක්‍රීඩකයින්ට මනා සවියක් වෙමින්.

2017 වසරේ දී ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම ලීග් ශූරතාවය ආසන්නයටම පැමිණියත් අවසන් මොහොතේ ඔවුන්ට එහි පහස අහිමි වූයේ අවාසනාවන්ත ලෙසයි. වසර 30ක් ලීග් ශූරතාවයක් නොමැතිව හිස්වූ ත්‍රිත්ව විද්‍යාලයේ කැබිනෙට්ටු කුසලානවලින් පුරවා දැමීමට මහනුවර ත්‍රිත්ව සිංහයින්ට හැකි වෙයි ද?

ත්‍රිත්ව විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්ම

  • සහිරා විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය – මාර්තු 3, සහිරා ක්‍රීඩාංගණය – ත්‍රිත්ව විද්‍යාලය ජය ගන්නා ලදි.
  • ඉසිපතන විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය – මාර්තු 10, පල්ලෙකැලේ
  • සාන්ත අන්තෝනි විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය – මාර්තු 17, පල්ලෙකැලේ
  • සාන්ත ජෝසප් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය – මාර්තු 22, ලොන්ඩන් පෙදෙස
  • විද්‍යා විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය – මාර්තු 30, පල්ලෙකැලේ

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<