ලුම්බිණි බලකායෙන් මොරටු කුමරුවන්ට ප්‍රහාරයක්

195

පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අද (03) දින කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී තරග වැදිනි. එම තරගයේ දී වේල්ස් කුමරුවන් ලකුණු 33 – 10ක් ලෙස පරාජය කරමින් තරගාවලිය ජයග්‍රාහීව ආරම්භ කිරීමට ලුම්බිණි විද්‍යාල කණ්ඩායම සමත් විය. තරගය ආරම්භ කර මිනිත්තු තුනක් ගෙවී ගිය පසු ලුම්බිණි ක්‍රීඩක රන්ජිත් කුමාර විසින් ප්‍රතිවාදී සීමා ඉර ඉක්මවා ගොස් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය.  (ලුම්බිණි 05 – 00 වේල්ස් කුමර) 

එම දිනුමත් සමඟම ලුම්බිණි ක්‍රීඩකයන් ඉතා දක්ෂ තරග රටාවක් පෙන්නුම් කළ නමුත් තරගයේ 11 වන මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගත් වේල්ස් කුමර ක්‍රීඩක රමේෂ් විසින් තම කණ්ඩායමේ ලකුණු වාර්තා කිරීම ආරම්භ කරන ලදි. (ලුම්බිණි 05 – 03 වේල්ස් කුමර) 

නමුත් මෙම තරගයේ පෙන්වූ තරගකාරිත්වය නැවතත් ප්‍රදර්ශනය කළ ලුම්බිණි ක්‍රීඩකයන් තරගයේ 15 වන මිනිත්තුවේ දී නැවතත් ප්‍රතිවාදී සීමා ඉර ආසන්නයට පැමිණීමට සමත් විය. ලුම්බිණි ක්‍රීඩක වීරසිංහ විසින් සාර්ථකව සීමා ඉර පසු කරමින් තම කණ්ඩායම වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කරන ලදි. (ලුම්බිණි 10 – 03 වේල්ස් කුමර) 

තරගය ආරම්භයේ පටන්ම තම ආධිපත්‍ය පැතිර වූ ලුම්බිණි ක්‍රීඩකයන් මුල් අර්ධය පුරාම ඉතා ඉහළ තරග රටාවක් ප්‍රදර්ශනය කරන ලදි. තරගයේ 24 වන මිනිත්තුවේ දී නැවතත් දක්ෂ ලෙස සකසා ගත් අවස්ථාවක් වේල්ස් කුමර සීමා ඉර ආසන්නයේ දී මග හැරී යන්නේ වේල්ස් ක්‍රීඩකයන්ගේ දක්ෂ වැළැක්වීම නිසාවෙනි. 

තරගයේ 29 වන මිනිත්තුවේ දී ලුම්බිණි ක්‍රීඩක ප්‍රමෝද් රන්මල් හට පිටියේ පහරදීමක් හේතුවෙන් විනිසුරුවරයාගේ අවවාදය සමඟින් කහ කාඩ් පතක් හිමි වූ අතර එයින් මිනිත්තු කිහිපයකට පසු නැවතත් ක්‍රියාත්මක වූ ලුම්බිණි ක්‍රීඩක ශිෆාන් විසින් වේල්ස් කුමර සීමා ඉර පසුකර යමින් තම පිළ වෙනුවෙන් තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. (ලුම්බිණි 15 – 03 වේල්ස් කුමර) 

පළමු අර්ධය පුරාවට තමන් රඳවා ගත් ආධිපත්‍ය එලෙසම තබා ගත් ලුම්බිණි ක්‍රීඩකයන් එම අර්ධය නිමාවට පත් කරන තුරුම වේල්ස් කුමර ක්‍රීඩකයන්ට ලකුණු රැස්කර ගැනීමට තවත් කිසිඳු අවස්ථාවක් ලබා නොදෙන ලදි. 

පළමු අර්ධය: ලුම්බිණි විද්‍යාලය 15 – 03 වේල්ස් කුමර විද්‍යාලය 

ක්‍රීඩක වෙනස්කම් දෙකක් සමඟින් දෙවන අර්ධයට පිවිසි වේල්ස් කුමරුවන්ට, පෙර අර්ධයට වඩා ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ලුම්බිණි ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබිනි. තරගයේ 48 වන මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් ලුම්බිණි ක්‍රීඩක දුලක්ෂණ සාර්ථක කරගත් අතර එය කණ්ඩායම් දෙක අතර තිබූ ලකුණු පරතරය වැඩි කිරීමට සමත් විය. (ලුම්බිණි 18 – 03 වේල්ස් කුමර

නැවතත් තරගයේ 56 වන මිනිත්තුවේ දී වේල්ස් කුමර ක්‍රීඩක එස්. ප්‍රනාන්දු විසින් සිදුකළ අනතුරුදායක වැළැක්වීම නිසා ඔහු හට කහ කාඩ්පතක් විනිසුරුතුමන් විසින් ලබා දෙන ලදි. එම නිසා ලුම්බිණි ක්‍රීඩකයන්ට හිමි වූ දඬුවම් පහර සාර්ථක කරගත් දුලක්ෂණ මුළු තරගයම තමන් වෙත ගෙන එන ලදි. (ලුම්බිණි 21 – 03 වේල්ස් කුමර) 

තරගය තුළ වේල්ස් කුමර ක්‍රීඩකයන්ට හුස්ම ගැනීමට හෝ අවස්ථාවක් ලබා නොදුන් ලුම්බිණි ක්‍රීඩකයන් නැවතත් ඉතා උසස් තරග රටාවක් පෙන්නුම් කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 62 වන මිනිත්තුවේ දී ලුම්බිණි ක්‍රීඩක එම්. සිල්වා විසින් ප්‍රතිවාදී සීමා ඉර නැවතත් පසුකර යමින් තම කණ්ඩායම වෙනුවෙන් හතරවන උත්සාහක දිනුම වාර්තා කරන ලදි. (ලුම්බිණි 26 – 03 වේල්ස් කුමර) 

තරගයේ මුළු ගෞරවයම තම අත රැඳී තිබූ අවස්ථාවක ලුම්බිණි ක්‍රීඩක දිල්හාර විසින් සිදුකළ අනතුරුදායක වැළැක්වීම නිසාවෙන් ඔහුට ද කහ කාඩ් පතක් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළේය. 

තරගයේ 67 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ වේල්ස් කුමර ක්‍රීඩක අයි. සිල්වා විසින් ඉතා ප්‍රබල ලෙස ප්‍රතිවාදී සීමා ඉර පසුකර යමින් අලංකාර උත්සහාක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය වේල්ස් කුමර ක්‍රීඩක එස්. ප්‍රනාන්දු විසින් සාර්ථක කර ගන්නා ලදි.  (ලුම්බිණි 26 – 10 වේල්ස් කුමර) 

කෙසේ නමුත් එවිට තරගය වේල්ස් කුමර කණ්ඩායම වෙතින් ගිලිහී ගොස් තිබූ අතර තරගයේ අවසාන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ ලුම්බිණි ක්‍රීඩක හිරුණ විසින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තන අවස්ථාව දුලක්ෂණ විසින් සාර්ථකව අවසන් කරන ලදි. (ලුම්බිණි 33 – 10 වේල්ස් කුමර) 

අවසන් ලකුණු තත්ත්වය: ලුම්බිණි විද්‍යාලය (5T, 1C, 2P) 33 – 10 (1T, 1C, 1P) වේල්ස් කුමර විද්‍යාලය  

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්: 

  • ලුම්බිණි විද්‍යාලය : රන්ජිත් කුමාර (1T), වීරසිංහ (1T), ශිෆාන් (1T), දුලක්ෂණ (1C,2P), හිරුණ (1T), එම්. සිල්වා (1T). 
  • වේල්ස් කුමාර විද්‍යාලය : රමේෂ් (1P), අයි. සිල්වා (1T), එස්. ප්‍රනාන්දු (1C).  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<