මෝහන් බගාන්ට එදිරිව කොළඹ පාපන්දු සමාජය

1115
Colombo FC AFC PreviewMohun Bagan

ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරඟාවලියේ පූර්ව සුදුසුකම් ලැබීමේ වටය ජනවාරි 31 වැනි දින ආරම්භ වීමට නියමිතව ඇත. ඒ වටය සඳහා සුදුසුකම් ලැබූ කොළඹ පාපන්දු සමාජය, ඉන්දියාවේ මෝහන් බගාන් පාපන්දු කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතයි.

සන්නිවේදනයේ ගැටළුවකින් අනුරට ප්‍රශ්නයක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සම්මේලන කමිටුවේ සාමාජිකයෙකුව සිටි ශ්‍රී ලංකා පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා ඉන් ඉවත් කිරීම පිලිබඳ නිල දැනුම් දීමක්…

මෝහන් බගාන් පාපන්දු සමාජය

1889 වසරේදී ඇරඹි මෝහන් බගාන් පාපන්දු කණ්ඩායම, ඉන්දියාවේ පැරණිතම පාපන්දු කණ්ඩායම වන අතර ආරම්භක සමයේදී එය හැඳින්වූයේ ‘මෝහන් බගාන් ක්‍රීඩා සමාජය’ ලෙසයි.

වඩාත් සාර්ථකම ඉන්දියානු පාපන්දු කණ්ඩායම් වලින් එකක් වන මොවුන්, වසර 127ක ඉතිහාසයක් තුළදී ශූරතාවන් 240කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත. මෑත ඉතිහාසයේදී 2014/15 ලීග් ශූරයන් බවට පත්වූ උක්ත කණ්ඩායම, 2015/16 වසරේදීද ශූරතාවය අභියසටම පැමිණ දෙවන ස්ථානය දිනා ගත්තේ බැංගලෝර් පාපන්දු සමාජය හමුවේ පරාජය වෙමිනි.

31 වනදා පැවැත්වෙන ඒ.එෆ්.සී. කුසලාන පූර්ව සුදුසුකම් ලැබීමේ වටයේ පළමු අදියර සඳහා ඔවුන් සුදුසුකම් ලැබූවේ ඔවුන්ගේ දක්ෂතාවන් හේතුවෙනි.

සූදානම

ඉන්දියානු ලීග් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගෙන සිටින ඔවුන් ලැබිය හැකිව තිබූ ලකුණු 15න් ලකුණු 13ක්ම ලබා ගන්නට සමත් විය. චර්චිල් බ්‍රදර්ස් කණ්ඩායම ගෝල 1-0ක් වශයෙනුත්, ෂිල්ලෝන්ග් ලජොන් කණ්ඩායම ගෝල 2-0ක් වශයෙනුත්, මිනර්වා පන්ජාබ් කණ්ඩායම ගෝල 4-0ක් වශයෙනුත්, චෙන්නායි සිටි කණ්ඩායම ගෝල 2-1ක් වශයෙනුත් පරාජය කළ ඔවුන් ක්‍රීඩා කළ ආසන්නතම තරගයේදී ඩී.එස්.කේ. සිවාජියන්ස් කණ්ඩායම හමුවේ ගෝල රහිතව සම තත්වයෙන් තරගයක් අවසන් කළේය. මේ වන විට ලීගයේ ඉහළින්ම පසුවන්නේ ඔවුන්ය.

දක්ෂ ක්‍රීඩකයන්

මේ කණ්ඩායම, ඉන්දියාවේ ප්‍රබලතම සහ ජාත්‍යන්තර ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගෙන්ම සමන්විතය. ඉන්දියන් සුපර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන බැවින් ජාත්‍යන්තර ක්‍රීඩකයන් හා කරට කර ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඇතැම් ක්‍රීඩකයන්ට උදාවී ඇත.

බ්‍රසීලයේ එඩුවාර්ඩෝ ෆෙරේරා, ආරක්ෂණයේදී ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන අතර ඉන්දියන් සුපර් ලීගයේදී පූනේ සිටි කණ්ඩායම නියෝජනය කරන්නෙකි. ඔවුන් ක්‍රීඩා කළ පළමු තරග පහේදී ප්‍රතිවාදීන් හට ලබාගත හැකිවූයේ එකම ගෝලයක් පමණක් වීම, ඔවුන්ගේ ආරක්ෂණ දක්ෂතා ගැන කදිම නිදර්ශනයකි.

ඔවුනගේ මැදපෙළ ශක්තිමත් කරන්නේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් දෙදෙනෙකි. හයිටි රාජ්‍යයේ සොනී නොර්ඩේ සහ නායකත්වය හොබවන ජපානයේ කට්සුමි යූසා ඔවුන් දෙදෙනායි. ඉන්දියන් සුපර් ලීගයේ කැපීපෙනෙන ක්‍රීඩකයෙක් වන නොර්ඩේ, තමා ක්‍රීඩා කරන සෑම කණ්ඩායමකටම වැදගත් ක්‍රීඩකයෙකි. ඔහුගේ දක්ෂතා හේතුවෙන්ම පසුගිය වසරේ ‘ඉන්දියානු සුපර් ලීග් දක්ෂතම ක්‍රීඩකයා’ යන ගෞරවය ඔහුට හිමිවිය.

ඉදිරිපෙළ දක්ෂයින් වන්නේ ස්කොට්ලන්තයේ ඩැරල් ඩෆී සහ තවත් ඉන්දියානු සුපර් ලීග් තරුවක් වන ජෙජේ ලාල්ෆෙක්ලුවා ය. ඩෆී, හල් සිටි, ස්වෝන් සී ෆෝල්කර්ක් සහ හිබ්ස් යන කණ්ඩායම් වල පවා ක්‍රීඩා කොට අත්දැකීම් ඇත්තෙකි. ආරම්භක තරග වලදී ජෙජේ සහ ඩෆී පිළිවෙලින් ගෝල 4ක් සහ 3ක් වාර්තා කොට ඇත.

උපක්‍රම

පුහුණුකරු සන්ජෝයි සෙන්ගේ මේ තරගවාරයේ උපක්‍රමය වී ඇත්තේ 4-4-2 යන පෙළගැස්මයි. එය නොවෙනස් වේ යැයි සිතිය හැක.

මෝහන් බගාන් සංචිතය.

කට්සුමි යූසා (නායක), දෙබ්‍ජිත් මජුම්දාර්, ශිල්ටන් පෝල්, ශිබින්රාජ් කුන්නියිල්, ප්‍රීතම් කෝටාල්, ශුවික් ගෝෂ්, ශුභාශිෂ් බෝස්, ප්‍රභීර් දාස්, බික්‍රම්ජිත් සිං(කනිෂ්ඨ), සුවික් චක්රබෝර්ති, අසරුඩීන් මලික්, බික්‍රම්ජිත් සිං(ජ්‍යෙෂ්ඨ), සෙනාජ් සිං, බල්වන්ත් සිං, අනාස් එඩතෝඩිකා, කීන් ලුවිස්, ඩැරල් ඩෆී, ජෙජේ ලාල්ෆෙක්ලුවා.


කොළඹ පාපන්දු සමාජය

ශ්‍රී ලංකා පාපන්දු පිටිය තුළ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ පාපන්දු සමාජය, 2014/15 එෆ්.ඒ. කුසලානයේ ශූරයන් වූ අතර ඒ සාර්ථකත්වය තවත් ඉදිරියට ගෙන යමින් 2015 ඩයලොග් චැම්පියන්ස් ලීග් ජයග්‍රාහකයන් බවටද පත්විය.

2016/17 ඩයලොග් චැම්පියන්ස් ලීග් කුසලාන තරගාවලියේ කණ්ඩායම් වටයේදී ඔවුන්ගේ දස්කම් වරින්වර වෙනස්කම් වලට ලක්වුවද, ආරම්භයෙන් පසු කෙටිකලකින්ම ඉන්දියාවේ පැරණිතම පාපන්දු සමාජය හා තරගයකට එක්වීමට ඔවුන්ට අවස්ථාව ලැබී ඇත්තේ ඔවුන් සුපුරුදු දක්ෂතා වලට එළඹෙමින් සිටින අවධියකදීය.

ප්‍රබල මෝහන් බගාන් කණ්ඩායමට එරෙහි ඒ.එෆ්.සී. කුසලාන තරගාවලියේ පූර්ව සුදුසුකම් ලැබීමේ වටයේ තරගය කොළඹ තුරඟ තරඟ පිටියේදී ජනවාරි 31 වැනිදා (හෙට) ප.ව.3.30ට ඇරඹීමට නියමිතයි.

ඩයලොග් ලීගයේ සුපිරි අටදෙනාගේ වටය ජනවාරි 6 වැනිදා ආරම්භ වීමෙන් පසුව වෙනත්ම ශෛලියකින් ක්‍රීඩා කරන මොවුන් සිය ප්‍රථම තරගයේදී සොලිඩ් පාපන්දු සමාජයට එරෙහිව ගෝල 3-0ක් ලෙස පරාජය ලැබුවත් දෙවන තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ගෝල 2-1ක් ලෙස ජය ලබන්නට සමත් විය. ගෙවුනු සතියේදී හොඳ දක්ෂතා අතරට පැමිණි ඔවුන් තම ප්‍රතිවාදීන් වූ යුධ හමුදා කණ්ඩායම පරාජය කළේ තියුණු තරගයකින් අනතුරුව ගෝල 2-1ක් ලෙසයි.

ඔවුන්ගේ දක්ෂතා වලට හේතු වන්නේ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයන් වන මොමාස් යාපෝ, සර්වාන් ජොහාර් සහ නාගුර් මීරාගේ ක්‍රීඩා දස්කම්ය. මෝහන් බගාන්ට එරෙහි තරගයේදී ඔවුන්ගෙන් දස්කම් බලාපොරොත්තු විය හැකිය.

නව අදේශනයන්

කොළඹ පාපන්දු සමාජය, එළඹෙන අදියර දෙකකින් යුත් තරඟ වටය සඳහා ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම අලුතින් කැඳවූ අතර මධ්‍ය ආරක්ෂක නසිරු ඔපායෙමි සහ වම්පස ආරක්ෂක චලන චමීර ඉන් අනිවාර්ය අවස්ථාව ලබන්නන් වනු ඇත. තම ක්‍රීඩා සමාජයන් වලට උපරිම දායකත්වය දැක්වූ ඔවුන් මේ කණ්ඩායමේ අනෙකුත් පසුපෙළ ක්‍රීඩකයන් වන මොහොමඩ් රමීස් සහ අෆීල් මොහොමඩ් සමඟින් කෙසේ ඒකාබද්ධ වනු ඇත්දැයි බැලීම වටියි.

අනෙකුත් ආදේශනයන් අතුරින් චරිත රත්නායක සහ ඩිලාන් කෞශල්‍ය ආරක්ෂකයන් ලෙසද යම් කාර්යභාරයක් ඉටුකරනු ඇති අතර රුවන් අරුණසිරිද මොහොමඩ් ඉම්රාන් හට මනා ආවරණයක් සපයනු ඇත.

තම පැරණි පාසල් මිතුරෙකු වන සර්වාන් ජොහාර් සමඟින් ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වශයෙන් අලුතින් එකතු වූ මොහොමඩ් රිෆ්නාස් හට විශාල වගකීමක් පැවරේ. මෙම දෙපලට තරගාකාරීත්වයෙන් යුත් තරගවලදී දස්කම් දැක්වීමේ හැකියාවක් ඇති අතර ඔවුන් සිය සුපුරුදු දස්කම් දක්වන තෙක් ප්‍රේක්ෂකයන් බලා සිටියි.

අත්දැකීම් වලින් සපිරි මොහොමඩ් ඉසඩීන් සහ ඊ.බී. චන්න, කොළඹ කණ්ඩායමට කැඳවාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙක් ආරම්භක නාමාවලියට ඇතුළත් වනු ඇතැයි අනුමාන කළ හැක.

දෙදෙනා පසුගිය ලීගයේදී තම කණ්ඩායම් වෙනුවෙන් හොඳ දස්කම් දැක්වූ අතර කොළඹ පාපන්දු සමාජය, 31වැනිදා ඔවුන්ගේ දස්කම් බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ඊ.බී. චන්න, ඉන්දියානු ලීගයේ ක්‍රීඩා කිරීමේ වරම ලද ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඩෙම්පෝ කණ්ඩායම නියෝජනය කළ ඔහුගේ දස්කම් තරඟයට වැදගත් වේ.

උපක්‍රම

ශ්‍රී ලංකාවේ ගෞරවය අතදරා සිටින කොළඹ පාපන්දු සමාජය සතුව තාක්ෂණික සහ සහජ හැකියාවෙන් යුත් ක්‍රීඩකයන් ඇත. පුහුණුකරු මොහොමඩ් රූමි, ශ්‍රී ලංකාව සතු අතිදක්ෂ ක්‍රීඩා සැලසුම් නිර්මාණය කරන්නෙකු බැවින් ඔහුට ප්‍රතිවාදීන් පුදුමයට පත්කිරීමේ හැකියාව පවතියි.

කෙසේ නමුත් මෝහන් බගාන් කණ්ඩායම ඉන්දියන් ලීගයේ ප්‍රමුඛතම කණ්ඩායමක් වන අතරම අභියෝගාත්මක ප්‍රතිවාදියෙක් ද වනු ඇත.

පන්දුවේ අයිතිය තබා ගැනීමේදී ඔවුනට දැඩි කාර්යභාරයක් හිමිවන අතරතුර ප්‍රති-ආක්‍රමණයන් සිදුකිරීමේදී තියුණු වන්නට සිදුවෙයි. අවසන් වරට යුධ හමුදා කණ්ඩායම ඉදිරියේ ප්‍රබල දක්ෂතා දැක්වූ ඔවුන් මීළඟ තරගවලදීද එසේ දස්කම් දක්වයි නම් කොළඹ පාපන්දු සමාජයට අවශ්‍ය එයයි.

කල්පනාකාරී විය යුතුම දෙය නම් ආරක්ෂක පෙළ තුළ අලුත් මුහුණුවරක් ඇති බැවින් ඉක්මණින් එකිනෙකා අතර අවබෝධය සකසා ගැනීමයි. ඉන්දියානු ලීගයේ සුපිරි ප්‍රහාරක ලාල්ෆෙක්ලුවා වළකාගැනීම ඉතා වැදගත්ය.

නව ආදේශනයන් සමඟින් කණ්ඩායමේ ශක්තිය වර්ධනය වී ඇති අතර ආරක්ෂණයේදී වඩා වැදගත්වන්නේ මනා සන්නිවේදනයයි.

“හැමදෙනාම දන්නා පරිදි මෝහන් බගාන් කණ්ඩායම අපට වඩා ඉහලින් කතාබහ වන කණ්ඩායමක්. මේ දවස් කිහිපයේදී අප ගොඩාක්ම අපේ ආරක්ෂණය ගැන සහ ශාරීරික යෝග්‍යතාවය ගැන අවධානය යොමුකළා. අලුතින් එක්වූ චරිත්, චන්න සහ ඉසඩීන් කියන්නේ අපට වැදගත් අත්දැකීම් සහිත ක්‍රීඩකයින්. පළමු අදියර ගොඩක් වැදගත්, මොකද අපි අපේ රටේ ක්‍රීඩා කරන්නේ. දෙවන අදියරේ ජය පරාජයෙන් තොරව වත් අවසන් කිරීමට නම් මෙවර 1-0ක් වශයෙන් ජයග්‍රහණය කිරීම මේ තරගයේදී ජයග්‍රහණය ගැන තබන අවම බලාපොරොත්තුවයි.” කොළඹ පාපන්දු කණ්ඩායමේ නායක රෝමි මොහිදීන්ගේ අදහස වූයේ එයයි.

පුහුණුකරු මොහොමඩ් රූමි පවසා සිටියේ,

“අපේ තත්වය පෙන්වීමට මේක හොඳ අවස්ථාවක් නිසා අපි මේ තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කර හොඳ සටනක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපට අත්දැකීම් සහිත,රහිත ක්‍රීඩකයන් දෙවර්ගයේම හොඳ සංකලනයක් ඇති නිසා හැමෝටම මේක හොඳ අවස්ථාවක්. අපි ජයගනීවී යැයි බොහෝදෙනා සිතන්නේ නැතත් අපි ජයගන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

කොළඹ පාපන්දු සමාජීය සංචිතය.

රෝමි මොහිදීන් (නායක), මොහොමඩ් රමීස්, මොහොමඩ් ඉම්රාන්, රුවන් අරුණසිරි, ආශික් මොහොමඩ්, නසිරු ඔපායෙමි, අෆීල් මොහොමඩ්, චලන චමීර, චරිත රත්නායක, මොමාස් යාපෝ, මොහොමඩ් මුෆීස්, සර්වාන් ජොහාර්, මොහොමඩ් රිෆ්නාස්, මොහොමඩ් ඉසඩීන්, ඊ.බී.චන්න, ඩිලාන් කෞශල්‍ය, අෆිස් ඔපායෙමි, තුවාන් රිස්නි, ඩේවිඩ් ඔසාගි, සෆ්රාන් සතාර්, නාගුර් මීරා, නිරාන් කනිෂ්ක, විකුම් කුමාරසිරි, මොහොමඩ් ශිෆාන්, සිරාජ් මොහොමඩ්, ධනුෂ්ක මධුශංක.

 තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට