#MeToo චෝදනා වලට හසු වූ පාපන්දු ලේකම්

MeToo

178
Kaushal Das
@DNA India

ලොව වටා ලිංගික අතවර සහ හිංසනවලට ලක්වන කාන්තාවන් වෙනුවෙන් ගොඩනැගුණු MeToo බලවේගයෙහි නවතම සැකකරුවා වන්නේ ඉන්දියානු පාපන්දු සම්මේලනයේ (All India Football Federation – AIFF) ලේකම් කෞෂාල් දාස් ය. ඔහුට එරෙහිව චෝදනා නගන්නේ ඉන්දියානු ව්‍යවසායක රංජිත් බජාජ් ය.

ඉන්දියානු පාපන්දු ලීගයේ මිනර්වා පන්ජාබ් (Minerva Punjab) පාපන්දු සමාජයේ හිමිකරු වූ බජාජ් පවසන්නේ ඉන්දියානු පාපන්දු සම්මේලනයේ ලේකම් දාස් විසින් රැකියා ස්ථානයේ දී කාන්තාවන් හට ලිංගික අතවර සිදු කළ බවයි. එම චෝදනාව ඉන්දියානු පාපන්දු සම්මේලනය විසිනුත්, චෝදනාවට ලක්වන දාස් විසිනුත් ප්‍රතික්ෂේප කොට ඇත.

එහෙත් බජාජ් පවසන්නේ රැකියා ස්ථානයේ දී කාන්තාවන්ට සිදු වූ අතවර දෙකක් ගැන චෝදනා ලේකම් දාස් හට එල්ල වූ බව සහ ඒ දෙකටම අදාළ වාර්තා යට ගැසීමට සම්මේලනයේ සභාපති ප්‍රවුෆ් පටෙල් විසින් ලිංගික අතවරයන් පිළිබඳ කමිටුවේ සභාපතිවරයාට බලපෑම් එල්ල කළ බවයි.

“කෞෂාල් දාස් ඔබ ඉල්ලා අස්වුනේ නැතිනම් මම ප්‍රවුෆ් පටෙල් විසින් වළදාපු තොරතුරු හෙළි කරනවා. හොඳටම ඇති!” යනුවෙන් ඔහු Twitter ඔස්සේ කෙලින්ම ඔහුට චෝදනා කොට තිබේ.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බජාජ් පැවසුවේ,

“මම සම්මේලනයට චෝදනා කරන්නේ නැහැ. මේක එක් පුද්ගලයෙකුට කෙරෙන චෝදනාවක්. ඔහුට පුළුවන් උසාවියට ගිහින් ප්‍රකාශයක් දෙන්න. ඔහුට චෝදනා ප්‍රතික්ෂේප කරන්න කියන්න. සම්මේලනය පැත්තෙන් උත්තර දෙනවට වඩා ඔහුට පුළුවන් පෞද්ගලිකව උත්තර දෙන්න”, යනුවෙනි.

චෝදනාවට ලක්වන කෞෂාල් දාස් පවසන්නේ එවැනි චෝදනාවක් පසුගිය දශකය පුරාවටම ඔවුන්ට ලැබී නොමැති බවයි.

“ඒත් මම ප්‍රකාශයක් දෙන්න කලින් සහ විධායක කමිටුව තීරණයකට එන්න කලින් හිංසන සම්බන්ධ කමිටුවෙන් වාර්තාවක් දෙන්න කියන්න”, දාස් වැඩිදුරටත් කිවේය.

රංජිත් බජාජ් තමන්ගේ අයිතිය යටතේ තිබූ මිනර්වා පන්ජාබ් පාපන්දු කණ්ඩායම 2020 දී අලෙවි කළේය. මේ වන විට එය රවුන්ඩ්ග්ලාස් පන්ජාබ් (Roundglass Punjab) නමින් තරග කරයි. ඔහු අතීතයේ සිටම සම්මේලනයට එරෙහිව චෝදනා නගන්නෙකු ලෙස ප්‍රකට ය. 2018දී ඔහු විසින් කළ ජාතිවාදී ප්‍රකාශයක් සම්බන්ධව වැරදිකරු වී වසරක තහනමකට ද ඔහු යටත් විය.

මෙවැනි චෝදනා සමාජ ජාලා තුළ සංසරණය වන්නේ #MeToo හෑෂ් ටැගය යටතේ ය. මෙම බලවේගය නිර්මාණය වුනේ ලිංගික හිංසනයන්ගෙන් බේරී පලා ආ සමාජ ක්‍රියාකාරිනියක වන ඇමරිකානු ජාතික ටරානා බර්ක් විසිනි.

2006 දී ඇය විසින් තමන් හට විඳින්නට සිදු වූ අමිහිරි අත්දැකීම් Myspace සමාජ වෙබ් අඩවිය තුළ ප්‍රසිද්ධ කිරීමත් සමඟ එවැනි අත්දැකීම් විඳි තවත් බොහෝ කාන්තාවන් පිරිසක් ඇය වටා එක් රොක් විය. “මමත් ලිංගික හිංසනයන්ගේ වින්දිතයෙක්” බව ලොවට කියා හිංසනයට ලක්වන කාන්තාවන් ඉන් මුදවා ගැනීමට සවියක් වීම ඔවුන්ගේ අරමුණයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<