අතිසාර්ථකව අවසන් වෙමින් යන 24 වන වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරඟ අද (18) ආරම්භ වූ අතර අද තරඟ 4ක් පැවැත්විණි. මෙම තරඟ වලින් හේලිස්, MAS Silueta, කැන්රිච් ෆිනෑන්ස් සහ එල්. බී. ෆිනෑන්ස් යන කණ්ඩායම් අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

පසුගිය ලිපි: කැන්රිච් හා MAS Silueta ජයග්‍රහණය කරමින් පළමු වටය නිමයි

හේලිස් A කණ්ඩායම හා ජෝන් කීල්ස් B කණ්ඩායම අතර තරඟය

පී. සරා ඕවල් පිටියේදී නිමාවූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ජෝන් කීල්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

පළමුව පිටියට පැමිණි හේලිස් ආයතන කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට ලිසුල වීරසේකර හා මදුරංග සොයිසා සමත් විය. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 84ක් හා ලකුණු 56ක් තම කණ්ඩායමේ ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. සමිත් ප්‍රනාන්දු ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 04කට කඩුලු 3ක් දවාලන ලදි.

හේලිස් කණ්ඩායම –269/07 (50) ලිසුල වීරසේකර 84, මදුරංග සොයිසා 56, ප්‍රමෝද් ප්‍රනාන්දු 32, සමිත් ප්‍රනාන්දු 3/04, අක්තාබ් කාටර් 2/62

ලකුණු 270ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට දෙවනුව පිටියට පැමිණි ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 86*ක් ලබා අගනා ඉණිමක් දියත් කරමින් තම කණ්ඩායම අවසන් 4 දෙනාගේ වටය කරා ගෙනයාමට වෑයම් කලද, අනෙක් අන්තයෙන් සැලකිය යුතු මට්ටමේ සහයක් නොලැබුණු නිසා එම වෑයම සාර්ථක නොවීය. චෙමිල ඔබේසේකර හා අලී කාන් ඇතුළු හේලිස් කණ්ඩායමේ පන්දු යවන්නන් ජෝන් කීල්ස් කණ්ඩායමට රිසිලෙස පිත්ත හැසිරිය හැකි ලෙස, පන්දු නොයවමින් කඩුලු 3 බැඟින් දවාලන ලදි.

ජෝන් කීල්ස් කණ්ඩායම –230/10 (45) මනෝජ් සරත්චන්ද්‍ර 86*, සමිත් ප්‍රනාන්දු 42, සිනෙත් වික්‍රමසිංහ 35, තරිදු රත්නායක 33, චෙමිල ඔබේසේකර 3/34, අලි කාන් 3/41

හේලිස් කණ්ඩායම ලකුණු 39ක තියුණු  ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


මොබිටෙල් A  කණ්ඩායම හා MAS Sliueta  කණ්ඩායම අතර තරඟය

එන්. සී. සී. පිටියේදී පැවැත්වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් MAS Sliueta පළමුව පන්දුව රැකීමට තීරණය කරන ලදි.

මොබිටෙල් කණ්ඩායම MAS Sliueta කණ්ඩායමේ ආරාධනාවට අනුව පළමුව පිතිකරණය සඳහා ඉඩකඩ ලබාගත් අතර තම කණ්ඩායම වෙනුවෙන් දිනෙත් හේවතන්ත්‍රී ලකුණු 70ක් ලබාගන්නා ලදි. බුද්ධික සංජීව හා කවීන් ද සිල්වා දක්ෂ ලෙස පන්දු යවමින් කඩුලු 3 බැඟින් දවාලන ලදි.

මොබිටෙල් කණ්ඩායම –228/10 (50) දිනෙත් හේවතන්ත්‍රී 70, එරංග රත්නායක 30, සිතාර ලියනගේ 28, බුද්ධික සංජීව 3/26, කවීන් ද සිල්වා 3/36, ඇන්ජලෝ එමනුවෙල් 2/35

දෙවනුව පිටියට පැමිණි MAS Sliueta කණ්ඩායම වෙනුවෙන් ඉශාන් නිලක්ශ ලකුණු 55ක් ලබාගත් අතර ඔහුට සහය ලබාදුන් පබසර වඩුගේ ලකුණු 43ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නා ලදි. අවසානයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ගණනය කලවිට පන්දුවාර 39ක් තුළ MAS Sliueta කණ්ඩායම ලකුණු 161ක් ලබාගත යුතුව තිබූ අතර ඔවුන් ඒ වනවිටත් එම ලකුණු ප්‍රමාණය ඉක්මවා තිබූ නිසා MAS Sliueta කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය හිමිවිය.

MAS Sliueta කණ්ඩායම –174/05 (39) (D/L) ඉෂාන් නිලක්ෂ 55, පබසර වඩුගේ 43, මොහොමඩ් ශිරාස් 2/27

MAS Sliueta කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් නියාය අනුව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


කැන්රිච් ෆිනෑන්ස් A කණ්ඩායම හා සෙලාන් බැංකු කණ්ඩායම අතර තරඟය

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් කැන්රිච් කණ්ඩායම පළමුව පන්දුව අතට ගත් අතර මෙම තරඟය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේදී පැවැත්විණි.

පළමුව පිතිකරණය සඳහා පිටියට පිවිසි සෙලාන් බැංකු කණ්ඩායමේ චානක විජේසිංහ ලකුණු 63ක් ලබා ගන්නා ලදි. අලංකාර අසංක දක්ෂ ලෙස පන්දු යවමින් ලකුණු 31කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.

සෙලාන් බැංකු කණ්ඩායම – 206/08 (50) චානක විජේසිංහ 63, තිලිණ කුමාරසිංහ 27, අලංකාර අසංක 3/31, රොෂාන් ලක්සිරි 2/29, දිලීශ ගුණරත්න 2/37

එම ලකුණු 206ට පිළිතුරු ලෙස කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම විශිෂ්ට හඹායාමක් සිදුකළ අතර එහිදී කසුන් විදුර හා දමිත් ප්‍රියදර්ශන ටිරෝන් ප්‍රනාන්දු පිටිය පුරා පිත්ත හසුරවමින්, විශිෂ්ට සබඳතාවයක් ගොඩනංවා තම කණ්ඩායමේ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන ලදි. මෙහිදී කසුන් විදුර නොදැවී ලකුණු 108*ක් හා දමිත් ප්‍රියදර්ශන නොදැවී ලකුණු 76*ක් ලබාගන්නා ලදි.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම –207 /02 (35.1) කසුන් විදුර 108*, දමිත් ප්‍රියදර්ශන 76*

තරඟයෙන් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබාගන්නා ලදි.


එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම හා සිංගර් ආයතන කණ්ඩායම අතර තරඟය

වෙළෙඳ පිටියේදී අවසන් වූ මෙම අර්ධ අවසන් පූර්ව තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සිංගර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමට ඇරයුම් කරන ලදි.

ඒ ඇරියුම පිළිගෙන පළමුව පන්දුවට පහරදුන් එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් තම හැකියාව හා දක්ෂතා මෙම තරඟය තුලද විදහා දක්වමින් ලකුණු 72ක් ලබාගැනීමට සමත් විය. ඔහුට මනා සහයක් ලබාදෙමින් සිංගර් කණ්ඩායම වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට ශසීන් ප්‍රනාන්දු ලකුණු 50කින් තම දායකත්වය ලබාදෙන ලදි. මෙහිදී චතුර ලක්ෂාන් හා අමිල රත්නායක කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම –257 (49.1) කුසල් මෙන්ඩිස් 72, ශසීන් ප්‍රනාන්දු 50, සහන් ආරච්චිගේ 35, රජීව වීරසිංහ 27, චතුර ලක්ෂාන් 3/25, අමිල රත්නායක 3/26

ලකුණු 258ක අභියෝගාත්මක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි සිංගර් කණ්ඩායමට එම ලකුණ ආසන්නයටවත් පැමිණීමට එල්. බී. ෆිනෑන්ස් පන්දු යවන්නන් ඉඩකඩ ලබාදුන්නේ නැත. එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චරිත් සුදාරක ලකුණු 26කට කඩුලු 5ක් දවාලන ලදි.

සිංගර් ආයතන කණ්ඩායම- 90/10 මාධව නිමේෂ් 19, චරිත් සුදාරක 5/26, කේෂාන් විජේරත්න 2/10

තරඟයෙන් එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම ලකුණු 167ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

තරගාවලියේ B කාණ්ඩයේ අවසන් පූර්ව තරඟ ලබන 24 වැනිදා

  • හේලිස් ආයතන කණ්ඩායම හා එල්. බී. ෆිනෑන්ස් ආයතන කණ්ඩායම අතර තරඟය වෙළෙඳ පිටියේදී,
  • කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම හා MAS Silueta කණ්ඩායම අතර තරඟය කටුනායක නිදහස් වෙළෙඳ කලාප පිටියේදී පැවැත්වේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට