කැන්රිච් හා MAS Silueta ජයග්‍රහණය කරමින් පළමු වටය නිමයි

454
Mercantile B Division MAS Silueta vs Seylan Bank and Singer and Kanrich A report

වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන්  තරඟ දෙක අද (14) නිමාවට පත්වූ අතර මෙම තරඟ වලින් ජයග්‍රහණ ලබාගැනීමට MAS Silueta හා කැන්රිච් ෆිනෑන්ස් ආයතන කණ්ඩායම් සමත් විය.

පසුගිය ලිපි: MAS Silueta හා කැන්රිච්ට තවත් ජයක්

MAS Silueta A කණ්ඩායම හා සෙලාන් බැංකු කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය සරේ පිටියේදී පැවැත්වූ අතර  කාසියේ වාසිය දිනාගත් MAS Silueta කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. ඒ ඇරයුම පිළිගෙන පිටියට පැමිණි සෙලාන් බැංකු කණ්ඩායම අවසානයේ දැවැන්ත ලකුණක් කරා යාමට සමත් විය. මෙම ඉණිම තුළ කාංචන ගුණවර්ධන ලකුණු 99කට අවාසනාවන්ත ලෙස දැවීගිය අතර ඔහුගේ නම ඉදිරියෙන් 4 පහරවල් 12ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය. ඔහු සමඟ අගනා සබඳතාවයක් ගොඩනංවමින් සෙලාන් කණ්ඩායම සවිමත් කල චානක විජේසිංහ මනරම් 4 පහරවල් 9ක් සමගින් ලකුණු 73ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

සෙලාන් බැංකු කණ්ඩායම – 278/09 (50) කාංචන ගුණවර්ධන 99, චානක විජේසිංහ 73, සුබෝධ ශ්‍රියන්ත 30, රුමේෂ් සිල්වා 3/55, ඇන්ජලෝ එමනුවෙල් 2/32, සංගීත් කුරේ 2/51.

අනතුරුව පිටියට පැමිණි MAS Silueta කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වුනු කෞෂාල් ගජසිංහ මෙම තරඟය තුළ MAS කණ්ඩායම වෙනුවෙන් 4 පහරවල් 3ක් හා 6 පහරවල් 2ක් සමගින් ලකුණු 63ක් ලබාගන්නා ලදි. දෙනුවන් රාජකරුණා MAS Silueta කණ්ඩායම අවසන් මොහොතේ ජයග්‍රහණය කරා මෙහෙයවමින් ලකුණු 51*ක් නොදැවී ලබාගන්නා ලදි. එම ඉණිමට 4 පහරවල් 5ක් අන්තර්ගත කිරීමට රාජකරුණා සමත් විය. චරිත් රාජපක්ෂ සෙලාන් කණ්ඩායම වෙනුවෙන් මෙහිදී කඩුලු 2ක් දවාලන ලදි.

MAS Silueta කණ්ඩායම – 282/07 (49) කෞෂාල් ගජසිංහ 63, දෙනුවන් රාජකරුණා 51*,කවීන් සිල්වා 45, ඉශාන් නිලක්ෂ 39, ඇන්ජලෝ ජයසිංහ 37, චරිත් රාජපක්ෂ 2/44.

MAS Silueta කණ්ඩායම කඩුලු 3ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


සිංගර් A කණ්ඩායම හා කැන්රිච් ෆිනෑන්ස් A කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේදී නිමාවට පත්විය. මෙහිදී කාසියේ වාසිය ජයග්‍රහණය කල සිංගර් ආයතන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

මෙම තරගයේ සිංගර් කණ්ඩායමේ ලකුණු පුවරුව කැපීපෙනෙන ලෙස ක්‍රියාත්මක කිරීමට මාධව නිමේෂ් සමත් වූ අතර ඔහු නොදැවී දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 136* ක් ලබාගෙන මෙම තරඟය තුල වැඩිම ලකුණු ලාභියා වුවද, තරඟය ඔවුන්ගේ කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට ඔහුගේ මෙන්ම කණ්ඩායමේ  වාසනාවද ප්‍රමාණවත් නොවිණි. උමාල් ලියනගේ ඔහු සමග අගනා සබඳතාවයක් ගොඩනංවමින් ලකුණු 68ක් තම නමට සටහන් කරගන්නා ලදි.

සිංගර් කණ්ඩායම – 272/06 (50) මාධව නිමේෂ් 136*, උමාල් ලියනගේ 68, දිලීශ බුද්ධික 2/31, අලංකාර අසංක 2/47

අනතුරුව පිටියට පැමිණි කැන්රිච් කණ්ඩායමට දැවැන්ත ලකුණක් හඹායාමට නියමිතව තිබූ අතර එම අභියෝගය සඳහා පළමු පන්දුවාරයේ සිටම පිළිතුරු ලබාදීමට දමිත් ප්‍රියදර්ශන ඇතුළු කැන්රිච් කණ්ඩායමේ පිතිකරුවන් සමත් විය. කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් දමිත් ප්‍රියදර්ශන ලකුණු 101ක් ලබාගෙන තම කණ්ඩායම ස්ථාවර මට්ටමකට ඔසවා තැබූ අතර එම සහය ද, ඇතිව ටෙහාන් ප්‍රනාන්දු ඇතුළු අනෙක් පිතිකරුවන් කැන්රිච් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම – 274/07 (49.4) දමිත් ප්‍රියදර්ශන 101,ටෙහාන් ප්‍රනාන්දු 41, ශෙහාන් ප්‍රනාන්දු 40, රොෂාන් අනුරාධ 34*, චතුර ලක්ෂාන් 2/44, රජිත ප්‍රිහාන් 2/48

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අවසානයේ කඩුලු 3ක ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.

මෙම තරගාවලියේ අවසන් වටයේ තරඟ ලබන 18 වනදා ආරම්භ වන අතර එතැන් සිට ඉදිරියට පිලිමලුන් පිටුදැකීමේ තරඟ (Knock-out) ලෙස අවසන් තරඟ පැවැත්වේ.

  • වෙළෙඳ පිටියේදී A1 – B4
  • පී. සරා ඕවල් පිටියේදී A3 – B2
  • එන්. සී. සී A2 – B3
  • ටිරෝන් ප්‍රනාන්දු පිටියේදී A4 – B1

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට