වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2017/18 වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරග යුනිලීවර් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් අද (9) ආරම්භ විය.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් සහභාගි වන අතර, ඒ ඒ කණ්ඩායම් තරගාවලියේ පළමු වටය තුල දී එහි සිටින සෑම කණ්ඩායමක් සමඟින්ම තරග කරනු ඇත.

B කාණ්ඩයේ අනුග්‍රාහකයා යුනිලිවර්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “2017/18 වෙළඳසේවා ක්‍රිකට්” තරගාවලියේ B කාණ්ඩයේ..

තරගාවලියේ පළමු තරගය ජෝන් කීල්ස් B කණ්ඩායම හා යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති අතර අවසානයේ ලකුණු 174ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ජෝන් කීල්ස් B කණ්ඩායම සමත් විය.

කොළඹ වෙළඳ සංගම් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ යුනිලීවර් කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. අයහපත් කාලගුණික තත්ත්වය නිසා එක් ඉනිමක් පන්දුවාර 43කට සීමා විය.

ඔවුන්ගේ ආරාධනය පරිදි පිටියට පිවිසි ජෝන් කීල්ස් B කණ්ඩායම නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙරාතුවම සිය ඉනිම අවසන් කර ගත්තේය. එහි දී කවීන් බණ්ඩාර ඔවුන්ගේ ඉනිම වෙනුවෙන් සවිමත් අඩිතාලමක් සකස් කරමින් ලකුණු 44ක් රැස්කර ගන්නා ලදි.

ඔහුට අනගි සහයෝගයක් දුන් රවිඳු කොඩිතුවක්කු ලකුණු 40ක් රැස් කළේය. ගිහාන් ද සොයිසා ලකුණු 31ක් තුල කඩුලු 3ක් බිඳහෙලූ අතර, අනෙක් අන්තයෙන් පන්දු යැවූ හර්ශන රාජේන්ද්‍ර කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූයේ ජෝන් කීල්ස් ඉනිම ලකුණු 253කට සීමා කරමිනි.

ලකුණු 254ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි යුනිලීවර් කණ්ඩායමේ පිතිකරුවන් හට එම ඉලක්කය පහසුවෙන්ම හඹා යාමට ජෝන් කීල්ස් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

දක්ෂ ලෙස පන්දු යැවූ තරිඳු රත්නායක ලකුණු 14ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූයේ තරගයේ සම්පූර්ණ වාසිය සිය කණ්ඩායම වෙත ලබා දෙමිනි. අක්තාබ් කාඩර් කඩුලු 3යි.

යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යම්තාක් දුරකට හෝ සාර්ථක වූ මදූශ රාජරත්න නොදැවී ලකුණු 23*ක් රැස්කර ගන්නා ලදි. අවසානයේ ඔවුන්ට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 79ක් පමණි.

ජෝන් කීල්ස් B – සියල්ලන්ම දැවී 253 (42.3): කවීන් බණ්ඩාර 44, රවිඳු කොඩිතුවක්කු 40, ගිහාන් ද සොයිසා 3/31, හර්ශන රාජේන්ද්‍ර 2/53.

යුනිලිවර් ශ්‍රී ලංකා – 79/10 (21.5): මදූශ රාජරත්න 23*, තරිඳු රත්නායක 5/14, අක්තාබ් කාඩර් 3/10.

මීළඟ සතිය සඳහා B කාණ්ඩය නියෝජනය කරමින් පැවැත්වෙන තරග

2017 සැප්තැම්බර් 13 වන බදාදා

තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
02 BRC පිටියේ දී DHT සිමෙන්ති ආයතනය vs ජෝන් කීල්ස් “B”
03 ටිරෝන් ප්‍රනාන්දු පිටිය මොබිටෙල්  “A” vs MAS Silueta “A”
04 මුවර්ස් පිටිය සිංගර් ශ්‍රී ලංකා   “A” vs යුනිලීවර් ශ්‍රී ලංකා

 

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට