ශ්‍රී ලංකා පකිස්‌තාන් සිව්දින ‘ඒ’ තරගය අද සිට

135

ලොකු ගණන් ගහන්න පුළුවන් අය අපිට ඉන්නවා – අශාන් ප්‍රියංජන

ජාතික කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ සොයා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ’ සහ පකිස්‌තාන් ‘ඒ’ ක්‍රීඩකයෝ තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගයට අද (06 දා) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වෙති.

ලබන මස ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලියක්‌ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර එම තරගාවලියේ ස්‌ථානයක්‌ වෙන්කර ගැනීම දෙපිලේම ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තුව වේ. දෙරට අතර පැවැති එක්‌දින තරගාවලිය 2-1 ක්‌ ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්‌ඩායම ජය ගැනීමෙන් පසුව සිව්දින තරගය ඉලක්‌ක කරමින් ඔවුන් දින තුනක්‌ පුහුණුවීම්වල නිරත විය.

ජාතික කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ තහවුරු කර ගැනීමට නම් ලැබෙන අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත යුතු බවත් පකිස්‌තාන් ‘ඒ’ කණ්‌ඩායම සමග තරගාවලියට මුහුණ දෙන්නේ ඉතාමත් සමබර කණ්‌ඩායමක්‌ සමගින් බවත් ශ්‍රී ලංකා ‘ඒ’ නායක අශාන් ප්‍රියංජන ඊයේ (06 දා) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් අවසානයේ පැවසීය.

”එක්‌දින කණ්‌ඩායමේ හිටිය නැති ක්‍රීඩකයන් හය දෙනෙක්‌ සිව් දින තරගාවලියට ඉන්නවා. කණ්‌ඩායම ඉතාමත් සමබරයි. ප්‍රිමියර් තරගාවලියේ ලකුණු අතර හිටපු පිතිකරුවන් සියලු දෙනාම වගේ මේ කණ්‌ඩායමේ ඉන්නවා. ලකුණු 200-250 වගේ ලොකු ගණන් ගහන්න පුලුවන් පිතිකරුවන් අපිට ඉන්නවා. පකිස්‌තාන් ‘ඒ’ කණ්‌ඩායම අපිට ලොකු අභියෝගයක්‌ වෙයි කියල හිතන්නෙ නැහැ. එහෙම කියල අපි සුලුවෙන් හිතල ක්‍රීඩා කරන්නෙත් නැහැ.” යනුවෙන් අශාන් ප්‍රියංජන පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය අතපොවන මායිමේ සිට ජාතික කණ්‌ඩායමෙන් එළියට විසිවීම සහ නැවතත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්‌ඩායමේ නායකත්වය ලැබීමෙන් තමන්ට සාධාරණයක්‌ සිදුවේද යන්න ‘දිවයින’ විසින් ප්‍රියංජනගෙන් විමසන ලදුව, ”මම ඉන්දියාව සමග පැවැති එක්‌දින තරගාවලියේ තරග තුනක්‌ ක්‍රීඩා කළා. එහිදී මම ලකුණු අතර හිටපු නැති නිසා තමයි කණ්‌ඩායමෙන් එළියට විසිවුණේ. මම දැන් හිතන්නෙ නායකයා විදිහට කණ්‌ඩායම මෙහෙයවීම ගැන පමණයි. මගේ උපරිමයෙන් ක්‍රීඩා කරනවා. ජාතික කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ දීම තේරීම් කමිටුවේ වගකීමක්‌. අපිට තියෙන්නෙ ලැබෙන අවස්‌ථාවේදි උපරිමය කිරීම පමණයි. ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපතිවරයාත් අපිත් එක්‌ක සාකච්ඡා කළා. ඒ වගේම නව තේරීම් කමිටුවත් අපිත් එක්‌ක සාකච්ඡා කළා. එහිදී අපිට මොනවද වෙන්න ඕන සහ තේරීම් කමිටුව අපෙන් බලාපොරොත්තුවෙන දේ පිළිබඳව කණ්‌ඩායමක්‌ විදිහට සහ තනි තනිවම සාකච්ඡා කළා. ඒ නිසා අපි දන්නව කරන්න ඕන දේ මොකක්‌ද කියලා.” යනුවෙන් ප්‍රියංජන වැඩිදුරටත් පැවසීය.

නවක ක්‍රීඩකයන් ලැබෙන අවස්‌ථාවෙන් ප්‍රයෝජන නොගැනීම පිළිබඳව තිබෙන චෝදනාවට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ‘ඒ’ නායකයා, ”අපි ලැබෙන අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ කියන්න බැහැ. එක්‌දින තරගාවලියේදීත් අපි හොඳට කළා. කුසල් පෙරේරා අසාර්ථක වෙලා ඉදල එක්‌දින තරගාවලියේදී ලකුණු අතරට පැමිණියා. කුසල් පසුගිය දිනවල ගොඩාක්‌ මහන්සි වුණා ලකුණු අතරට එන්න. අපි සියලු දෙනාම ලැබෙන අවස්‌ථාවේදී උපරිමය කරනවා” යනුවෙන් පැවසීය.

පකිස්‌තානය සමග ලබන මස පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලියේදී මහේල ජයවර්ධනගේ ස්‌ථානය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු අදේශකයන් ‘ඒ’ කණ්‌ඩායමේ තිබේද යන්න ප්‍රියංජනගෙන් විමසන ලදුව, මහේල සහ සංගක්‌කාරගේ අඩුව පුරවන්න ලෙහෙසියෙන් බැහැ. මම හිතන්නෙ ඔවුන්ගේ පිතිකරණ ස්‌ථානවල ක්‍රීඩා කරන්න පුලුවන් දක්‍ෂ ක්‍රීඩකයන් දැන් ජාතික කණ්‌ඩායමේ ඉන්නවා. ඔවුන් ඉදිරියේදී ඒ ස්‌ථානවල පහර දෙයි. ‘ඒ’ කණ්‌ඩායමේ දක්‍ෂතා දක්‌වන ක්‍රීඩකයන්ට පිතිකරු ස්‌ථානයේ පහළින් පන්දුවට පහර දෙන්න සිදුවේවි.” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්‌ඩායම අද දිනයේදී පන්දු යවන්නන් සිව්දෙනකු සහ පිතිකරුවන් හත්දෙනකුගෙන් යුත් සංචිතයක්‌ සමග ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. එහිදී තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අශාන් ප්‍රියන්ජන් සහයක දග පන්දු යවන්නාගේ රාජකාරිය ඉටු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසීය.