MODE Engineering සහ John Keells අවසන් මහා සටනට

MCA – Singer Super Premier T20 Tournament 2022

1109

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන Super Premier T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට MODE Engineering සහ John Keells කණ්ඩායම් අද (22) සමත් වුනා.

කොළඹ වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති අවසන් පූර්ව වටයේ තරගවල දී MODE Engineering ක්‍රීඩකයෝ HAYLEYS Group A කණ්ඩායම පරාජය කරමින් සහ John Keells Group – A ක්‍රීඩකයෝ HNB – A කණ්ඩායම පරාජය කරමින් මේ අවස්ථාව සපුරා ගත්තා.

MODE Engineering සහ HAYLEYS Group A අතර තරගය (MCA පිටියේ දී)

කාසියේ වාසිය දිනා ගත් HAYLEYS Group A නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීම‍ට පිටියට පිවිසි MODE Engineering ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් ලබා ගත් ඊට පිළිතුරු ලෙසින් HAYLEYS Group A කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 150ක් පමණයි.

MODE Engineering ඉනිමේ කඩුලු 3ක් ලකුණු 31ක් තුළ දැවී ගොස් තිබිය දී ඉනිම ගොඩ නැගීමට සමත් වූයේ සජිත් ද සිල්වා සහ දුෂාන් හේමන්තයි. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් එක් කළා. එහි සබඳතාව අවසන් කරමින් දුෂාන් හේමන්ත දැවී යන විට පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.

අනතුරුව සජිත් ද සිල්වා ඉනිමට තවත් ලකුණු 42ක් එක්වෙන තුරු පිටියේ රැඳී සිටි අතර 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 43කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.

පසුපෙළින් පිටියට පිවිසි අරුල් ප්‍රගාෂ් පන්දු 15ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී චතුරංග ද සිල්වා ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිද්දී, ටී. එම්. සම්පත් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ මැදපෙළින් කඩුලු 3ක් පන්දු 8ක් තුළ ලකුණු 4කට දැවී යෑමෙන් අසරණ වෙද්දී එහි බර කරට ගත්තේ නායක ඩිල්රුවන් පෙරේරා. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 28කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ටී. විතුශාන්, ඉම්ටියාෂ් ස්ලාෂා, දුශාන් හේමන්ත සහ අරුල් ප්‍රගාෂ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

  • MODE Engineering – කඩුලු 8ක් දැවී 169 (20) සජිත් ද සිල්වා 45, දුෂාන් හේමන්ත 47, අරුල් ප්‍රගාෂ් 37, චතුරංග ද සිල්වා 3/20, ටී. එම්. සම්පත් 2/31
  • HAYLEYS Group A – කඩුලු 9ක් දැවී 150 (20) රොන් චන්ද්‍රගුප්ත 19, විශාද් රන්දික 28, චතුරංග ද සිල්වා 26, ඩිල්රුවන් පෙරේරා නොදැවී 42, ටී. විතුශාන් 2/17, ඉම්ටියාෂ් ස්ලාෂා 2/15, දුශාන් හේමන්ත 2/36, අරුල් ප්‍රගාෂ් 2/24

MODE Engineering කණ්ඩායමට ලකුණු 19ක ජයග්‍රහණයක්

John Keells Group – A සහ HNB – A අතර තරගය (MCA පිටියේ දී)

කාසියේ වාසිය ජයග්‍රහණය කළ John Keells Group – A කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි  HNB – A ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් John Keells Group – A කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 131ක් ලබා ගත්තේ ඉනිම අවසන් වීමට තවත් පන්දු 2ක් ඉතිරිව තිබිය දීයි.

HNB කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ක්‍රිශාන් සංජුල. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් ඩිල්ශාඩ්, අකිල ධනංජය සහ මාලිංග අමරසිංහ කඩුලු 2 බැගින් දවා ගත්තා.

හඹා යන ඉනිමට පිවිසි John Keells ක්‍රීඩකයන්ට එතරම් ලෙහෙසියෙන් එය සපුරා ගැනීමට ප්‍රතිවාදීන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ සිව්වැනි පන්දුවාර ක්‍රියාත්මක වෙද්දී කඩුලු 2ක් දවා ගැනීමට ඔවුන් සමත් වුනා.

නමුත් තෙවැනි කඩුල්ලේ දී ලකුණු 45ක සබඳතාවක් එක් කිරීමට ෂෙරාන් ෆොන්සේකා සහ කවින් බණ්ඩාර සමත් වුනා. තෙවැනි කඩුල්ල ලෙසින් ෂෙරාන් ෆොන්සේකා දැවී යන විට පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.

කවීන් බණ්ඩාර පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගනිද්දී, සචිත ජයතිලක ද ලකුණු 35ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට පන්දු 23ක් වැය ව තිබූ අතර ඊට හතරේ පහරක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුනා.

ඉනිමේ 5 වැනි කඩුල්ලේ සිට 8 වැනි කඩුල්ල දක්වා වූ කඩුලු 4 පන්දුවාර 2ක් තුළ ලකුණු 7ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමත් සමඟින් තරගය නැවත වතාවක් උණුසුම් වුනා. නමුත් ඒ වෙද්දී ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය සඳහා වූයේ කඩුලු 2ක් සහ පන්දු 7ක් තුළ ලකුණු 4ක් පමණයි.

එය තවත් පන්දු 5ක් තුළ ලබා ගනිද්දී ගයාන් සිරිසෝම දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තා.

  • HNB – A; කඩුලු 9ක් දැවී 130 (20) සඳුන් වීරක්කොඩි 32, ක්‍රිශාන් සංජුල 41, රන්මිත් ජයසේන 22, මොහොමඩ් ඩිල්ශාඩ් 2/30, අකිල ධනංජය 2/18, මාලිංග අමරසිංහ 2/25
  • John Keells Group – A; කඩුලු 8ක් දැවී 131 (19.4) ෂෙරාන් ෆොන්සේකා 28, කවින් බණ්ඩාර 35, සචිත ජයතිලක 35, ගයාන් සිරිසෝම 4/26

John Keells Group – A කණ්ඩායමට කඩුලු 2ක ජයග්‍රහණයක්

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 25 වැනිදා පෙරවරුවේ කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වීමට නියමිත අතර එහි උණුසුම සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<