වේගපන්දුවෙන්, හිතුවක්කාරකමෙන් ලොව දිනූ ඩෙනිස් ලිලී

179
LONDON - AUGUST 29: Dennis Lillee, 4th Test England v Australia The Oval 1975 (Photo by Patrick Eagar/Popperfoto via Getty Images)

හැත්තෑව සහ අසූව දශකවල ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියේ ප්‍රමුඛයා වූයේ ඔහුය. ඝනව වැඩුණු උඩු රැවුල මෙන්ම අතිශය තරගකාරී, කිසිලෙසකින් හෝ පරාජය බාර නොගන්නා උසස් ක්‍රීඩා රටාව ඔහුව ක්‍රිකට් ලෝකයේ ඉහළින්ම උසවා තබන්නට සමත් විය.

1949 වසරේ ජූලි 18 වැනිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී උපත ලද ඩෙනිස් කීත් ලිලී ක්‍රිකට් ක්‍රීඩාවට එතෙක් මෙතෙක් පහළ වූ සුවිශේෂීම චරිතවලින් එකෙකි.

අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!

අක්ෂේ කුමාර් රඟපෑ සබ්සේ කිලාඩි චිත්‍රපටය ඉන්දියාවේ ……….

“මා උපදින විට මගේ දෙමාපියන් ඉතාම ළාබාල වයසක පසු වූයේ. මගේ උපත සිදු වන විට මගේ පියාගේ වයස අවුරුදු 22ක්. මවගේ වයස අවුරුදු 19ක්. එවන් තරුණ වයසකින් යුතු මව් පිය යුවළක් ලැබීම මා විශාල වාසනාවක් ලෙසයි තවමත් සලකන්නේ. 

මට ළාබාල සහෝදරයෙකු සහ සහෝදරියක සිටියා. මගේ පියා සැමවිටම අප තිදෙනා සමඟ කෙළිදෙළෙන් කාලය ගත කළා. ඇත්තෙන්ම වැඩි වයස් පරතරයක් නොමැති නිසා අපි සියලු දෙනාටම තිබුණේ සමාන අදහස්.

මගේ පියා ඉතාම ක්‍රියාශීලී අයෙක්. ඇත්තටම ඔහුගෙන් සැමවිටම පෙන්නුම් කළේ ඉතාම ළාබාල පෙනුමක්. ඇත්තටම ඔහු ශරීර යෝග්‍යතාව වෙනුවෙන් ඉහළ බරක් තැබූ පුද්ගලයෙක්.

මගේ කුඩා සහෝදරයාගේ නම ට්‍රෙවෝ. ඔහු මට වඩා මාස දහ අටක් පමණ බාලයි. ට්‍රෙවෝට මෙන්ම මටත් ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබුණේ සමාන අදහස්. ඔහුත් කුඩා කාලයේ සිටම ක්‍රීඩාවට ඉතාම දක්ෂතා පෙන්වූ අයෙක්. 

ඔහුත් මාත් අතර ඉතාම කුඩා කාලයේ සිටම ක්‍රීඩාව වෙනුවෙන් ඉහළ තරගකාරීත්වයක් තිබුණා. එකිනෙකා අහිබවා යෑමට ඇත්තටම අප අතරේ තිබුණේ විශාල තරගයක්. මගේ ළාබාල සහෝදරියත් ක්‍රීඩා කටයුතු සඳහා ඉතාම කැමැත්තකින් පසුවුණේ.

ඩෙනිස් (17)සහ ට්‍රෙවෝ (16) ලිලී පර්ත් ක්‍රිකට් සමාජය වෙනුවෙන් තරගයකට එක්වී

ඇත්තටම ක්‍රීඩාව කියන දේ මට ස්වභාවිකවම පිහිටපු දෙයක් නොවේ. කුඩා කාලයේ මට සමබරව සිටගෙන ඉන්නට අපහසු බවක් තිබුණා. ඒ නිසා මා වෙනුවෙන්ම තැනූ විශේෂ සපත්තු යුගලයක් ගෙන ඒමට මගේ දෙමාපියන්ට සිදු වුනා. 

මා වෙනුවෙන් ගෙනා සපත්තු යුගලය වළලුකරටත් වඩා ඉහළට එසවී තිබුණා. මම තීරණය කළා අසාමාන්‍ය සපත්තු යුගලයෙන් මිදී ඉතා ඉක්මනින් මගේ අනෙකුත් මිතුරන් මෙන් සාමාන්‍ය දරුවෙකුගේ තත්ත්වයට පැමිණෙන්නට. ඒ වෙනුවෙන් මට වෙනස්ම ආකාරයේ ඇවිදීමේ රටාවකට පුරුදු පුහුණු වීමට සිදු වුනා.

කුඩා අවධියේ දී ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටත් පිහිනීමටත් මම දැඩි ලෙස ආශා කළා. මගේ පියා තරුණ වයසේ දී පාපන්දු ක්‍රීඩා කර තිබුණා. ඒ හේතුව නිසාම මගේ වටපිටාවේ තිබුණේ පාපන්දු ක්‍රීඩාවට සුදුසු පරිසරයක්. නමුත් දෛවයේ ලියවී තිබූ පරිදි මා අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගත්තා.

මගේ පියා රාජකාරිය කළේ ට්‍රක්රථ රියදුරෙකු ලෙසයි. සෑම දිනකම ඔහු සවස් යාමයේ නිවසට පැමිණෙන තුරු අප බලා සිටියේ. පියා නිවසට පැමිණි වහාම අපි ඔහුව ක්‍රීඩාවට සම්බන්ධ කර ගත්තා. නිවස පිටුපස හෝ අසල්වැසි නිවසක ක්‍රීඩාවේ යෙදීමට අප පුරුදු වී සිටියා. අප සතුව ක්‍රිකට් පිති ඇතුළු සියලුම ආම්පන්න තිබුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි තරු රිචී බෙනෝ, ඇලන් ඩේවිඩ්සන් හෝ නීල් හාවී එංගලන්ත කණ්ඩායමේ ටෙඩ් ඩෙක්ස්ටර්, පීටර් මේ හෝ ෆ්‍රෙඩ් ටෲමන්ට එරෙහිව තරග වදින තරගකාරී ආකාරයකින් ක්‍රීඩා කරන්නට අපි පෙලඹී සිටියා.

සමහර සන්ධ්‍යාවන්හි අපේ ගෙවත්ත සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණය බවට පත්වුණා. ලකුණු සටහන් කරුවන්, විනිසුරුවරුන් මෙන්ම ඉඳහිට කාන්තා ප්‍රේක්ෂකයෙකුගෙන් ද අපිට අඩුවක් තිබුණේ නැහැ.

මා කුඩා කාලයේ ආරම්භක පිතිකරුවා හෝ නොම්මර තුන පිතිකරුවා ලෙසයි කටයුතු කළේ. ඉන් පහළ ස්ථානය පිතිහරඹයේ යෙදෙනවා ඇත්තටම මට මතක නැති තරම්. නමුත් වේගයෙන් පන්දු යැවීමට හැමවිටම මගේ හිතේ ආශාවක් තිබුණා.

ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි සමයේ පන්දු යැවීමට මා සෑහෙන දුරක සිටයි දිව ආවේ. මගේ මිත්‍රයින් මට වෙස්ලි හෝල් යනුවෙන් උසුළු විසුළු කරන්නට පටන් ගත්තේ මා සෑහෙන දිගු දුරක් දිව ආ නිසායි.

“ඔන්න වෙස් හෝල් පන්දු යැවීමට පැමිණෙනවා” ඔවුන් නිරන්තරයෙන් කෑ ගැසුවා.

ඇත්තටම මගේ ක්‍රිකට් ක්‍රීඩා ජීවිතයේ වීරයා වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වෙස්ලි හෝල්.

වෙස් හෝල්ගේ පන්දු යැවීමේ රිද්මයානුකූල රටාවට, වේගවත් බවට මගේ සිතේ තිබුණේ දැඩි කැමැත්තක්.

වීර කාව්‍යයක් නොගැයුණු ලාංකේය ක්‍රිකට් මහානාමය

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය එය බවට …………

එක්තරා දිනයක මාත් මගේ සොයුරාත් පර්ත් නුවර වැකා ක්‍රීඩාංගණයේ පිටුපස වැටෙන් පැන වෙස් හෝල් සජීවීව පන්දු යවන ආකාරය බලන්නට ගිය ගමන කිසි ලෙසකින් අමතක කරන්නට බැහැ.

අපේ වාසනාවකට අප සිත් ගත් දැවැන්ත කොදෙව්වා ඉදිරියෙන්මයි සිටියේ. අපි ඔහුගෙන් නොනවත්වා ප්‍රශ්න අසන්නට පටන් ගත්තා. වෙස් කිසිම විටෙක තරහා නොගනිමින් අපේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දුන්නා. ඒ ඇතැම් ප්‍රශ්න ඉතාම මෝඩ පහේ ඒවා. එදින රාත්‍රියේ මා නිවසට පැමිණියේ රටක් රාජ්‍යයක් දිනූවෙකු පරිද්දෙන්. හෙට දිනයේ පටන් වෙස් හෝල් ලබා දුන් උපදෙස් ගෙවත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට භාවිත කළ යුතු බව මම මටම කියා ගත්තා.

මා ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු වූ පසුව මා හමුවීමට එන කුඩා දරුවෙකුට පවා උපදෙස් දෙන්නට හෝ ඔවුන් සමග කාලය ගත කරන්නට මැළිකමක් දැක්වූයේ නැහැ. එයට හේතුව ලෙස මා සලකන්නේ එදා වැකා ක්‍රීඩාංගණයේ වැටෙන් පැන ගොස් වෙස් හෝල් හමු වූ ඒ මොහොත නිරන්තරයෙන් මගේ මතකයට නැගෙන නිසායි. කුඩා දරුවෙකු වූ මට හෝල්ගේ හමුවීම මහමෙරක් වුනා. අනෙකුත් කුඩා දරුවන්ටත් ඒ අවස්ථාව ලැබිය යුතු බව මා තරයේ විශ්වාස කළා.

කුඩා දරුවෙකුට සමරු අත්සනක් දීමට, දිරි වදනක් පැවසීමට මා හැකි සෑමවිටම උත්සාහ කළා. එවැන්නක් කෙනෙකුගේ ජීවිතයකට කළ හැකි වෙනස මා හොඳින්ම දැන සිටියා. 

ක්‍රීඩාව ආරම්භ කළ දිනයේ පටන් මා ශරීර යෝග්‍යතාව වෙනුවෙන් වැඩි බරක් තැබුවා. එයට මූලික වූයේ මගේ සීයා. මගේ මවගේ පියා ක්‍රීඩකයෙකු ලෙසින් ඉහළ නමක් දිනා සිටි අයෙක්.

වේගපන්දුකරුවෙකුට ඉහළ ශරීර යෝග්‍යතාවයක් තිබිය යුතු බව ඔහු නිරන්තරයෙන් මතක් කළා. පාසල් නිවාඩු කාලයේ පවා මා ඔහු සමඟ විශේෂ පුහුණුවීම්වල යෙදුණා.

ඔහු මට නිතරම කියූ දෙයක් ඔබ ඔබේ ශරීරය පාලනයට ගත්විට මනසත් ඔබට උවමනා පරිදි කටයුතු කරාවි යන්න. 

ශරීර යෝග්‍යතාව පවත්වා ගැනීමට කළ ඒ කැපකිරීම් නොවන්නට කිසිම දිනක මට ඉහළ මට්ටමකට පැමිණෙන්නට ලැබෙන්නේ නැහැ. ඔබට දිනන්නට අවශ්‍ය නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමේ තේරුමක් නැහැ.

පාසල් අධ්‍යාපනය නිමා වූ වහාම මට උවමනා කළේ රැකියාවක් සොයා ගැනීමට. ඇත්තටම මගේ අභිප්‍රාය තිබුණේ බැංකුවක රැකියාවක් සොයා ගැනීමට. පාසලෙන් නික්ම ගිය වහාම මම ගිණුම් තබන්නෙකු ලෙස රැකියාවක් සොයා ගත්තා.

මා මුලින්ම ක්‍රීඩා කළේ පර්ත් ක්‍රිකට් සමාජය වෙනුවෙන්. 1969/70 තරග වාරය වෙනුවෙන් බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරන්නට මට අවස්ථාවක් ලැබුණා. ඉතා වේගයෙන් පන්දු යැවූ මට කඩුලු 32ක් දවා ගැනීමට හැකියාවක් ලැබුණා. එහි කඩුල්ලකට සාමාන්‍යය 22.03 ලෙසයි සටහන් වී තිබුණේ. ඒ තරග වාරයේ බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව එයයි.

මාස කිහිපයක් ගත වෙද්දී ඕස්ට්‍රේලියානු දෙවන පෙළ කණ්ඩායම සමඟ නවසීලන්තයේ සංචාරයක යෙදෙන්නට ලැබීම මා කිසිම ආකාරයකින් බලාපොරොත්තු වූ දෙයක් නොවේ.

නවසීලන්ත සංචාරයේ දී කඩුලු 18ක් දවා ගැනීමට මට හැකියාවක් ලැබුණා. එහි කඩුල්ලක් දවා ගැනීමට වැය කළ සාමාන්‍යය 16.44 ලෙසයි සනිටුහන්ව තිබුණේ.

බොහෝ දෙනා පවසන පරිදි ඕස්ට්‍රේලියානු ටෙස්ට් වරම් දුර ඈතක නොවන බව ඒ වන විට මට වැටහී ගොස් තිබුණේ.”

වේගපන්දුවෙන් විකුම් පෑ අසමසම ‘මැකෝ’

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු බලඇණියක සිටි උසින් ……….

එකී නවසීලන්ත සංචාරයට පසුව පැවති අළුබඳුන තරගාවලියේ ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ දී පැවති හයවැනි ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට ලිලී සමත් විය. එංගලන්ත ඉනිමේ කඩුලු පහක් දවා ගනිමින් එලෙස ඕස්ට්‍රේලියානු වරම් දිනා ගත් ලිලී එතැන් පටන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නැතිවම බැරි පන්දු කරුවා බවට පත්විය.

ඩෙනිස් ලිලී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 70කට ක්‍රීඩා කොට කඩුලු 355ක් දවා ගත් අතර එක්දින ජාත්‍යන්තර තරග 63කට ක්‍රීඩා කොට කඩුලු 103ක් දවා  ගැනීමට සමත් විය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ උත්තම සේවය වෙනුවෙන් ඔහු 2009 වසරේ සිය අද්විතීය ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට (ICC Cricket Hall of Fame) ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<