නවසීලන්ත ක්‍රීඩකයෙක් තරගාවලියෙන් ඉවතට යද්දී තවත් අයෙක් ඇතුළට

95

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (3) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අතරතුර පන්දු රකිමින් සිටිය දී, නවසීලන්ත ආරම්භක පිතිකරුවෙක් වන මාර්ටින් ගප්ටිල් ආබාධයකට ලක්විය. 

ශ්‍රී ලංකාව එක් වෙනසක් සමඟ තීරණාත්මක දෙවන තරගයට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ…

ඔහුගේ උදරයේ දකුණු පෙදෙසේ මාංශ පේශි අසාමාන්‍ය ලෙස ඇදීමකට ලක්ව තිබෙන නිසාවෙන් අනිද්දා (6) දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය සඳහා ගප්ටිල් සහභාගී නොවනු ඇත. ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අද (3) සිය මව් රට බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම (ලුකී ෆර්ගසන්, ගප්ටිල් හා ටොම් බෘස්) ආබාධවලට ලක්ව තිබෙන නිසාවෙන් තුන් ඉරියව් ක්‍රීඩක හමිෂ් රදර්ෆර්ඩ් සංචිතයට කැඳවීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ. ඒ බව නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ගැරී ස්ටෙඩ් මහතා විසින් තහවුරු කර ඇත.

තරගාවලිය ආරම්භ වීමට පෙර පසුගිය දා පැවති පුහුණු සැසිවාරයක් අතරතුර නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ලුකී ෆර්ගසන්ගේ මහපට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදු වූ නිසා ඔහුට සම්පූර්ණ තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු විය. එසේම උකුලේ වම්පස ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ආබාධයක් නිසාවෙන් මැදපෙළ පිතිකරු රෝස් ටේලර් හට දෙවන තරගය මඟ හැරී ගිය නමුත් අනිද්දා පැවැත්වෙන තෙවැනි තරගය සඳහා ඔහු සූදානමින් සිටින බව වාර්තා වේ.

ඉන්දියාවෙන් බිහි වූ සුපිරි පිතිකාරිණිය විස්සයි විස්සෙන් සමුගනියි

ඉන්දියාවෙන් දැනට බිහි වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවක් වන මිතාලියා රාජ්…

එසේම ටේලර්ගේ ආබාධය නිසා දෙවන තරගයේ දී ඔහු වෙනුවට කණ්ඩායමට පැමිණි ටොම් බෘස් ඊයේ දිනයේ දී අගනා අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායමට සහාය විය. කෙසේ නමුත් එම තරගය අතරතුර බෘස්ගේ දණහිස ආශ්‍රිතව යම් ආබාධයක් හටගෙන තිබෙන නිසා ඔහුට තෙවැනි තරගය ක්‍රීඩා කිරීමට හැකි ද නොහැකි ද යන්න තවමත් තීරණය වී නොමැත.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන්  විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ සිකුරාදා (6) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වේ.

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා තරගාවලියේ සියලුම තරග සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<