පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට උසස් වීම්!

165

පාකිස්තාන වමත් දඟපන්දු යවන ක්‍රීඩිකා අනාම් අමීන් සහ මැදපෙළ පිතිකාරිණි ඔමයිමා සොහායිල් හට 2020-21 තරගවාරය සඳහා මධ්‍යගත ක්‍රීඩිකා කොන්ත්‍රාත්තු පිරිනමන්නට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

එංගලන්ත ප්‍රේක්ෂකයින් දැක්වූ ප්‍රතිචාරයට ECBයෙන් පැසසුම්!

ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අනුව මේ කොන්ත්‍රාත්තු පිරිනැමීම සිදුකර ඇති අතර ඒ අනුව ක්‍රීඩිකාවන් නව දෙනෙකු කාණ්ඩ තුනක් යටතේ මධ්‍යගත කොන්ත්‍රාත්තු වලට හිමිකම් කියනු ඇත. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමේ වැඩපිළිවෙලක් ලෙස නැගී එන ක්‍රීඩිකාවන් නව දෙනෙකු හට ද පළමු වතාවට කොන්ත්‍රාත්තු ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබීම විශේෂත්වයකි. මේ සියලු කොන්ත්‍රාත්තු එළඹෙන ජූලි 01 වනදා සිට බලාත්මක වනු ඇත. 

එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයකට අනුව 2020-21 තරගවාරය සඳහා පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආකෘති තුනේ දීම මෙහෙය වීමේ වගකීම හිමිව ඇත්තේ බිස්මාහ් මරූෆ් හටයි. එළඹෙන මාස 12 තුළ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ICC කාන්තා ලෝක කුසලාන තේරීම් තරගාවලියට මෙන්ම ACC කාන්තා ආසියානු කුසලාන තරගාවලියටත් සහභාගී වීමට නියමිතය. කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ කොන්ත්‍රාත්තුව අලුත් කර නොමැති අතර ඒ නිසා ඉදිරියේ දී නව පුහුණුකරුවෙකු තෝරා ගැනීමට අයදුම්පත් කැඳවනු ඇත. 

පසුගිය වසරේදී දැක්වූ දක්ෂතා නිසා නායිකා මරූෆ් සමඟ, උපනායිකා ජවේරියා ඛාන් සහ වේගපන්දු යවන ක්‍රීඩිකා ඩයානා බායිග් හට උසස් වීම් ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අතරම අසාර්ථක තරගවාරයකට මුහුණ දුන් තුන් ඉරියව් ක්‍රීඩිකා නිඩා ඩාර් C කාණ්ඩයේ මධ්‍යගත කොන්ත්‍රාත්තුවක් දක්වා පහතට වැටි තිබීම විශේෂත්වයකි. 

වැදගත්ම කරුණ නම් මධ්‍යගත කොන්ත්‍රාත්තු නවයටම වැටුප් වැඩි වීමක් සිදුවී තිබීමයි. A කාණ්ඩයේ ක්‍රීඩිකාවන්ට 33% කින්, B කාණ්ඩයේ ක්‍රීඩිකාවන්ට 30%කින් සහ C කාණ්ඩයේ ක්‍රීඩිකාවන්ට 25% ක මාසික ගෙවීම් වැඩි වීමක් සිදුවී තිබෙනවා. මේ අතරම ක්‍රීඩිකාවන්ට තරගයකට ගෙවන මුදල සහ තරගාවලියක් ජයග්‍රහණය කළ විට ලබා දෙන මුදල 100% කින් වැඩි කිරීමටත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබීම විශේෂත්වයකි. එදිනෙදා වියදමට ලබා දෙන මුදලත් 50%කින් ඉහළ දමා තිබේ. 

මේ වසර මුලදී පැවැත්වුනු ICC විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත් යොවුන් ක්‍රීඩිකාවන් වන සයිදා අරූබ් ෂා (16) සහ අයේෂා නසීම් (15) හට ද නැගී එන ක්‍රීඩිකාවන්ගේ කොන්ත්‍රාත්තු පිරිනමා තිබීම කැපී පෙනේ. ඔවුන් පසුගිය වසරේ දී දේශීය ක්‍රිකට් පිටියේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. 

2020-21 තරගවාරය සඳහා කාන්තා ක්‍රිකට් මධ්‍යගත කොන්ත්‍රාත්තු 

  • A කාණ්ඩය – බිස්මාහ් මරූෆ් සහ ජවෙරියා ඛාන් 
  • B කාණ්ඩය – ආලියා රියාස්, ඩයානා බායිග් සහ සිද්‍රා නවාස් 
  • C කාණ්ඩය – අනාම් අමින්, නාහිදා ඛාන්, නිඩා ඩාර් සහ ඔමයිමා සොහයිල් 

කාන්තා නැගී එන ක්‍රීඩිකාවන්ගේ කොන්ත්‍රාත්තු – අයේෂා නසීම්, ෆාතිමා සානා, කයිනාට් හෆීස්, මුනීබා අලි සිද්දික්, නාජිහා අල්වී, රමීන් ශමිම්, සබා නසීර්. සයිදා ඉක්බාල් හා සයේදා අරූබ් ෂා.  

“පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩිකාවන්ට කොන්ත්‍රාත්තු පිරිනැමීමට කලින් විස්තර සහිතව පූර්ණ විශ්ලේෂණයක් කළා. පසුගිය මාස 12 තුළ ජාත්‍යන්තර තරග වල දැක්වූ දක්ෂතා, ක්‍රීඩිකාවන්ගේ ශාරීරික සුවතාවය, සීමිත පන්දුවාර තරගවලදී ඔවුන් දැක්වූ දක්ෂතා මේ කොන්ත්‍රාත්තු ලබා දීමට පදනම් වුනා.” යයි PCBය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. 

“ඩයානා බායිග් B කාණ්ඩයට උසස් වීම් ලැබුවා.” කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උරුජ් මුම්ටාස් පවසා සිටියේය. 

“ඇය පසුගිය මාස 12 තුළ පාකිස්තානය වෙනුවෙන් ඉහළම දස්කම් දැක්වූ පන්දු යවන්නියයි. ඇය පාකිස්තාන වේගපන්දු බල ඇණිය මෙහෙය වූවා වගේම පන්දු යැවීමේ දී පාලනයෙන් යුතුව හොඳින් පන්දු යැවුවා. ඒ වගේම ඇය හොඳ පන්දු රකින්නියක්.” 

ඉදිරි කාලය පන්දු යවන්නන්ට වගේම පිතිකරුවන්ටත් අමාරුයි!

“ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අලුතින් මධ්‍යගත කොන්ත්‍රාත්තු වලට ඇතුළු වීම ගැන සතුටුයි. ඕමයිමා සීමිත පන්දුවාර ආකෘති දෙකේම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් වුනා වගේම අනාම් විස්සයි විස්ස තරග වලදී හොඳින් පන්දු යැව්වා. ඇය දේශීය තරග පිටියේ වැඩිම කඩුලු ලාභියා වගේම ජාත්‍යන්තර තරග පිටියෙත් සම- වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩිකාවයි.” 

“අපිට දැඩි තීරණ කිහිපයක් ගන්නට සිදුවුනා. කොන්ත්‍රාත්තු ලබා ගැනීමට බැරි වුනු අයට අපි කියන්නේ මේක අවස්ථාවක් කරගෙන හොඳින් දක්ෂතා දක්වා ඔබේ හැකියාව පෙන්වන්න.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<