සුබ සිහින දල්වමින් පුහුණු තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

645
Sri Lanka v Australia

ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය ඉහළින්ම රස විඳිය හැකි අතිශය උණුසුම් ක්‍රිකට් තරගාවලියක ආරම්භය සිදුවීමට තවත් ඉතිරිව ඇත්තේ දින 2කටත් අඩු කාලයකි. ඒ කැන්ගරු දේශයේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්සයි තරගාවලියයි. ඒ පිලිබඳ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු තව තවත් ඉහළ නංවමින් අද (15) ඕස්ට්‍රේලියානු අගමැතිගේ කණ්ඩායම සමග පැවති පුහුණු තරගය විශිෂ්ට අන්දමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

යළි පිබිදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එංගලන්තයේ ජය මාවත අහුරයි

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර නුදුරේදීම ආරම්භ වීමට නියමිත නිල නොවන ටෙස්ට් තරග දෙකටත්, එක්දින තරග…

ප්‍රේක්ෂකයින් විස්සයි විස්ස තරග රටාවට ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් නිර්මාණය වන පිතිකරණ පාරාදීසයක් අද කැන්බරා ක්‍රීඩාංගණයේදී මෙම පුහුණු තරගය වෙනුවෙන්ම සැකසී තිබුණි. එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානුවන්ට භාර කළේ ලැබෙන ඉලක්කය කොපමණ වුවද එය හඹා යෑමේ වගකීම භාර ගනිමිනි.

මෙම තරගය සඳහා ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් ජෝ බර්න්ස් සහ ඇඩම් වෝජස් වැනි ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පමණක් සහභාගි වූ අතර වෝජස් මෙම තරගයෙන් අනතුරුව තම ජාත්‍යන්තර තරග දිවිය නිමා කිරීමට තීරණය කර තිබේ. එසේම ආබාධ තත්වයන් හේතුවෙන් වසරක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි ලසිත් මාලිංගගේ පුනරාගමනය ද මෙම තරගයේදී සිදුවිය. ඔහු අද ප්‍රථම පන්දුවාරයේදීම ආරම්භක පිතිකරු ඩි ආර්කි ශෝට්ගේ කඩුල්ල බිඳ දැමුවේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් කාලයේ වැලි තලාවෙන් වැසී ගිය සොඳුරු අතීතයක මතකයන් නැවත සිහිපත් කරමිනි.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරුවන්ගේ ප්‍රවේගකාරී පිති හරඹය හේතුවෙන් නියමිත පන්දුවාර විස්ස තුලදී කඩුලු 6කට ලකුණු 169ක් රැස් කිරීමට ඔවුන් සමත් විය. ඒ වෙනුවෙන් මූලිකත්වය ගත් සෑම් හීස්ලට් පන්දු 38ක් තුල ප්‍රවේගකාරී ලකුණු 58ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගිනි. තම ක්‍රීඩා දිවියේ අවසන් ඉනිම ක්‍රීඩා කල ඇඩම් වෝජස් නොදැවී ලකුණු 54ක් රැස් කළේය.

පන්දු යැවීමේදී තවමත් ජාත්‍යන්තර වරම් හිමිකර ගැනීමට නොහැකි වූවත් දක්ෂතා අතින් අඩුවක් නැති දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක විකුම් සංජය ලකුණු 26කට කඩුලු 3ක් බිඳ හෙලීය. ඔහු අද පන්දු යැවූ ආකාරය අනුව අනිද්දා පැවැත්වෙන ප්‍රථම විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා හිස්වැස්ම පැළඳීමට වාසනාවන්ත වනු ඇතැයි කිව හැකිය. මීට අමතරව ලසිත් මාලිංග සහ ඉසුරු උදාන අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ලැබුනු ඉලක්කය එතරම් ලේසි පහසු නොවූවත් මේ දිනවල සුපිරි රිද්මයක පසුවන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඒ පිලිබඳ එතරම් තැකීමක් කළේ නැත. ලැබෙන පන්දුව නිවැරදිව පිලිගත් ඔවුන් දෙදෙනා ඉනිම පුරාවට පන්දුවාරයකට ලකුණු 10ක පමණ වේගයක් රඳවා ගනිමින් ලකුණු 47 බැගින් රැස් කළහ. කවදත් ක්‍රිකට් පිටියේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන නිරෝෂන් දික්වැල්ල අද අකුණු සැර වන් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් පන්දු 26ක් තුලදී ලකුණු 47ට ලඟාවුනු අතර, නායකයාගේ භූමිකාව මැනවින් රඟ දැක්වූ උපුල් තරංග ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිවන තුරුම ඉනිමේ එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටියේය.

මීට අමතරව කලකට පසු නැවතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් එකතු වීමේ අපේක්ෂාවෙන් පසුවන ඩිල්ශාන් මුණවීර ලකුණු 32ක් ද, මිලින්ද සිරිවර්ධන ලකුණු 25ක් ද රැස් කළහ. මෙම සියල්ලන්ගේම දක්ෂතාවල අවසන් ප්‍රතිඵලය වූයේ ලකුණු 170ක අසීරු ඉලක්කය පන්දුවාර 17යි එක් පන්දුවක් තුලදී සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබීමයි. සමස්ථයක් වශයෙන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සියලු දෙනාටම පාහේ පිත්තෙන් දැවැන්ත සංග්‍රහයක් හිමිවුනු අතර ඩි’ආර්කි ශෝට් පමණක් ලකුණු 19කට කඩුලු 2ක් බිඳ හෙලමින් දක්ෂතා දැක්වීය.

දේදුණු දේශයේදී ප්‍රබල දකුණු අප්‍රිකානුවන් තරග 2-1ක් ලෙස විස්සයි විස්ස තරගාවලියේදී පරාජය කල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේදී ලද මෙම ජයග්‍රහණය ඔවුන්ට මානසික වශයෙන් ඉතාමත් වැදගත් වනු ඇත. එසේම මෙම ජයග්‍රහණයත් සමගින් උද්දාමයට පත්වුනු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ලබන 17 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස්වී සිංහ පැටවුන්ට ජය පතා සිංහ ධජ දහස් ගණනක් ලෙළදවනු ඇති බවට දැනටමත් අනාවැකි පළ කල හැකිය.

ඕස්ට්‍රේලියානු අගමැති කණ්ඩායම – කඩුලු 6ක් දැවී ලකුණු 169 (පන්දුවාර 20): සෑම් හීස්ලට් 58, ඇඩම් වෝජස් 54*, ඇලෙක්ස් කැරේ 21, හිල්ටන් කාට්‍රයිට් 14, විකුම් සංජය 3/26, ලසිත් මාලිංග 1/26, ඉසුරු උදාන 1/50.

ශ්‍රී ලංකාව – කඩුලු 5ක් දැවී ලකුණු 170 (පන්දුවාර 17.1): උපුල් තරංග 47*, නිරෝෂන් දික්වැල්ල 47, ඩිල්ශාන් මුණවීර 32, මිලින්ද සිරිවර්ධන 25, සීක්කුගේ ප්‍රසන්න 6*, ඩි ආර්කි ශෝට් 2/1, ඩැනියෙල් වොරල් 1/31.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට