Manchester United අවධානය කාන්තා IPL කණ්ඩායමක් වෙත

273

ලොව ප්‍රබලතම විස්සයි විස්ස ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් මිල දී ගැනීමට උත්සහ කිරීමෙන් පසු කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් මිල දී ගැනීමට තමන් උනන්දු වන බව Manchester United කණ්ඩායමේ හිමිකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව තහවුරු කර තිබූ අතර මෙම මාසයේ දී ආරම්භ වූ ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් තරගාවලියේ Desert Vipers කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ ද ඔවුන් විසිනුයි.

“ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් තරගාවලියේ කණ්ඩායමක් මිල දී ගැනීමෙන් පසු කාන්තා ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඇතුළු අනෙක් තරගාවලි පිළිබඳව අවධානය යොමු වීම සාමාන්‍ය දෙයක්,” යැයි එහි ප්‍රධානී Phil Oliver ප්‍රකාශ කර තිබුණා.

කාන්තා ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් වෙන්දේසිය ජනවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත් එම වෙන්දේසියට පෙර කණ්ඩායම් මිල දී ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු අයදුම්පත තමන් ලබා ගත්තේ ද යන්න හෙළි කිරීම Phil Oliver ප්‍රතික්ෂේප කර තිබුණා.

“අපි මේ ක්‍රියාවලියේ කොතරම් දුරට ගොස් තිබෙනවා ද යන්න හෙළි කරන්න මට බැහැ. ඒත් කාන්තා ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඇතුළු සියලු අවස්ථා ගැන අපි හොයලා බලනවා. ඉන්දියානු වෙළඳපොළ ගැන අපි උනන්දුවක් දක්වනවා. මේ තරගාවලිය බොහෝ දෙනා නරඹන තරගාවලියක්.

ඊට කලින් අපි බලමු Desert Vipers කණ්ඩායමෙන් අපිට ලැබෙන්නේ මොනවද කියලා. අපිට අවශ්‍ය වෙන්නේ ලොව පුරා සිටින අපගේ රසියකයන්ට මෙන්ම ඉන්දීය රසිකයන්ට අපගේ සන්නාමය ගෙන එන්නයි,” යැයි ඔහු ප්‍රකාශ කළා.

ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කාන්තා කණ්ඩායම් මිල දී ගැනීමේ ටෙන්ඩර් අයදුම්පත නිකුත් කිරීමෙන් පසු ඉන්දීය සහ විදෙස් පාර්ශව රැසක් ඒවා මිල දී ගැනීමට ඉදිරිපත්ව තිබෙනවා. දැනට පවතින ඉන්දිය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් හිමිකරුවන් ඇතුළු 20කට අධික පාර්ශව රැසක් මෙය සඳහා ඉදිරිපත්ව ඇති බව වාර්තා වනවා.

Manchester United කණ්ඩායමේ හිමිකාරිත්වය දරන Glazer පවුල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට (පිරිමි) අලුතින් එක් වූ කණ්ඩායම් ද්විත්වයටම ලංසු ඉදිරිපත් කර තිබූ අතර Avram Glazer විසින් Ahmedabad කණ්ඩායමට ඉන්දීය කෝටි 4125.65ක මුදලක් සහ Lucknow කණ්ඩායමට කෝටි 4023.99ක මුදලක් ලංසු තබා තිබුණා.

කෙසේ නමුත් Manchester United කණ්ඩායම මෙම ලංසු තැබීම්වලට ඉදිරිපත් වීම පිළිබඳව පැහැදිලි කරමින් Phil Oliver ප්‍රකාශ කළේ,

“ඉන්දියන් ප්‍රිමියර් ලීග් කණ්ඩායමක් දෙස බලා සිටියේ Manchester United නෙවෙයි. Avram Glazerගේ Lancer Capital ආයතනයයි එයට ලංසු තැබුවේ. එම ආයතනයයි ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායමක් මිල දී ගත්තේ. Manchester United එය නියෝජනය කරන්නේ නැහැ,” යනුවෙනුයි.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<