සංගා සිය ක්‍රිකට් දිවියේ 100 වෙනි ශතකය වාර්තා කරයි

287
Kumar Sangakkara

කුමාර් සංගක්කාර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ යෝක්ෂයර් කණ්ඩායම සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී සිය වෘත්තීමය ක්‍රිකට් දිවියේ 100 වෙනි ශතකය වාර්තා කරගනිමින් සරේ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වන්නට සමත් විය.

ශ්‍රී ලංකාව පන්දු රැකීමෙන් ලොව දුර්වලම කණ්ඩායම ද?

ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන කුඩා දරුවකුට වුවත් ලොව ඕනෑම ක්‍රිකට් පුහුණුකරුවකු කියා දෙන මූලික සිද්ධාන්තයක් වෙයි…

යෝක්ෂයර් කණ්ඩායම සහ සරේ කණ්ඩායම අතර හෙඩින්ග්ලි හි දී පැවති මෙම අර්ධ අවසන් පූර්ව තරගයේ දී 39 වැනි වියේ පසුවන සංගක්කාර සරේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 121ක් වාර්තා කර ගන්නට සමත් වූ අතර ඔවුන් ලකුණු 24කින් තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සමත් විය.

ඒ අනුව සංගක්කාර මෙම තරගයේ දී සීමිත පන්දුවාර තරගවල දී ලබා ගත් සිය 39 වෙනි ශතකය වාර්තා කළ අතර ඊට අමතරව පළමු පෙළ ක්‍රිකට් තරගවල දී ඔහු ශතක 61ක් වාර්තා කර ගෙන ඇත. ඒ අතරට ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගවල දී වාර්තා කර ගත් ශතක 38ක් ද ඇතුළත් වේ.

2015 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් සංගක්කාර මෙම තරග වාරය අවසානයේ පළමු පෙළ ක්‍රිකට් පිටියට ද සමුදීමට තීරණය කර ඇත. වමත් පිතිකරුවෙකු වන ඔහු සිය වෘත්තීමය ක්‍රිකට් දිවිය තුළ ලබාගෙන ඇති සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව 45,529කි.

මැට් ෆිෂර් යැවූ පන්දුවකට ‘Third Man’ කලාපය වෙත පන්දුව යොමු කර ලකුණක් ලබා ගනිමින් ඔහු මෙම තරගයේ දී ශතකය වාර්තා කර ගත් අතර මේ ඔහු මෙම තරග වාරයේ දී ලබා ගත් 08 වෙනි ශතකය යි. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් සරේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 313ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙස ප්‍රතිවාදී යෝක්ෂයර් කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 289ක් පමණි. ඒ අනුව මෙම තරගය ලකුණු 24කින් ජයග්‍රහණය කරන්නට සරේ කණ්ඩායම සමත් විය.

මෙවර ප්‍රාන්ත තරග වාරයේ පළමු කාණ්ඩයේ තරග 06කට සහභාගී වී ඇති සංගක්කාර ලකුණු 90.60%ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් ඉතා විශිෂ්ට දස්කම් අතරට එන්නට සමත් වී ඇත.

පසුගිය මාසයේ දී පැවති තරගයක දී සංගක්කාර ලකුණු 84කට දැවී ගිය අතර ඒ අනුව පළමු පෙළ තරග ඉතිහාසයේ අඛණ්ඩව ශතක 06ක් වාර්තා කර ගත් ලොව 04 වෙනි ක්‍රීඩකයා වීමේ අවස්ථාව ඔහුට අවාසනාවන්ත ලෙස අහිමිව ගියේය.  

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති සංගක්කාර ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ පසුවෙයි. ඒ ටෙස්ට් තරග 134ක දී ලකුණු 12,400කට හිමිකම් කියමිනි. එමෙන්ම ඔහු ජාත්‍යන්තර එක්දින තරග 404ක දී ලකුණු 14,234ක් වාර්තා කර ගෙන ඇති අතර ඒ අනුව වැඩිම එක්දින ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ ඔහු දෙවැනි වන්නේ සචින් ටෙන්ඩුල්කාර් හට පමණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<