2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ මූලික වටයේ තරග පසුගිය සතියෙන් නිමාවට පත් වුනා.
ඒ අනුව ඊයේ (01) දිනයෙන් නිමා වූ සති අන්තයේ දී ලීගයේ ශූරතාව වෙනුවෙන් සහ පළඟ ශූරතාව වෙනුවෙන් කණ්ඩායම් තරග බිමට පිවිසුණා. ඒ අනුව මෙහි දී කණ්ඩායම් දෙක බැගින් ශූරතාව සහ බඳුන ශූරතාව වෙනුවෙන් ක්‍රීඩා කළ තරග හතරක් ක්‍රියාත්මක වුනා.
Havelock SC සහ CR & FC
මෙවර ලීගය මූලික වටය නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණේ රැඳීමට සමත් වූ CR & FC කණ්ඩායම සමඟ ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි වූ Havelock කණ්ඩායම මෙම තරගයට සහභාගී වුනා.
මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම කරට කර සටනකට අවතීර්ණ වූ අතර, එහි දී කණ්ඩායම් දෙකම උත්සාහක දිනුම් දෙක බැගින් සාර්ථක කර ගනිමින් ලකුණු 14 බැගින් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී CR & FC කණ්ඩායමට තවදුරටත් සිය ආධිපත්‍යය රැක ගැනීමට ඉඩ ලබා නොදුන් Havelock ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කර ගැනීමට සමත් වුනේ තරගයේ ජය තහවුරු කර ගනිමිනුයි.
- Havelock SC 28 (4T, 4C) – CR & FC 14 (2T, 2C)
තරගයේ වීරයා – ජනිඳු ප්‍රනාන්දු (Havelock SC)
ගුවන් හමුදාව සහ නාවික හමුදාව
මෙවර ලීගයේ මූලික වටයේ දී අවාසනාවන්ත ලෙස ලකුණු සටහනේ පස් වැනි ස්ථානය උරුම කර ගැනීමට සිදු වූ ගුවන් හමුදාව සිය ගෞරවය රැක ගැනීම වෙනුවෙන් මෙම සටනට අවතීර්ණ වුනා.
එමෙන්ම තරගය ආරම්භයේ සිටම ඔවුන් විසින් සිය අභිප්‍රාය හඹා යමින් ක්‍රීඩාවේ යෙදුණු අතර, පළමු අර්ධය තුළ නාවික හමුදාව ලකුණු 10ක් ලබා ගන්නා අතරේ, ගුවන් හමුදාව විසින් උත්සාහක දිනුම් හතරක් සමඟ ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ ගුවන් හමුදාව තවත් අභියෝගාත්මක අයුරින් ක්‍රීඩාවේ නිරත වුනා. එම කාල සීමාව තුළ ඔවුන් තවත් උත්සාහක දිනුම් පහක් ලබමින් ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුනා. මෙම කාලය තුළ නාවික හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි.
- ගුවන් හමුදාව 61(9T, 8C) – නාවික හමුදාව 24 (3T, 3C, 1P)
තරගයේ වීරයා – ගයන්ත ඉද්දමල්ගොඩ (ගුවන් හමුදාව)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
මහනුවර සහ CH & FC
මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගය ලෙස මෙය හැඳින්විය හැකි.
ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳී සිටිමින් මෙම තරගයට අවතීර්ණ වුන කණ්ඩායම් දෙකම, තරගය ආරම්භයේ පටන් ඉතා තරගකාරී ලෙස ක්‍රීඩාවේ නියැලුණා. පළමු අර්ධය නිමා වන විට CH & FC ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 3ක් සමඟ ලකුණු 19ක් ලබාගන්නා අතරේ, මහනුවර කණ්ඩායම උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ කණ්ඩායම් දෙකම තවත් තරගකාරී ලෙස ක්‍රීඩාවේ යෙදුණු අතර, එක් කණ්ඩායමක් ලකුණු පුවරුවේ සටහන් කරනා ලකුණ තවත් මොහොතකින් අනෙක් කණ්ඩායම සම කිරීමට සමත් වීම මෙහි දී සෑම විටම කැපී පෙනුණා.
එම සංසිද්ධිය තරගය නිමා වන විටත් ඒ අයුරින් ම සිදු වූ අතර, ඒ අනුව තරගය අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 34 බැගින් ලබමින් සම මට්ටමින් තරගය අවසන් කළා.
- CH & FC 34 (5T, 3C, 1P) – මහනුවර 34(4T, 4C, 2P)
තරගයේ වීරයා – ජනිඳු ඩිල්ශාන් (CH & FC)
යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය
මෙම තරගය ද ආරම්භයේ සිටම කරට කර සටනක් ලෙස ක්‍රියාත්මක වූ අතර, මෙහි පළමු අර්ධය තුළ යුද හමුදාව විසින් ලකුණු 14ක් ලබමින් තරගයේ පෙරමුණට පැමිණි අතර, පොලිස් ක්‍රීඩකයින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ යුද හමුදාවට තවත් එකදු ලකුණක් හෝ ලබාගැනීමට පොලිස් ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. එමෙන්ම මෙම කාල සීමාව තුළ ඔවුන් උත්සාක දිනුම් පහක් ද සම්පූර්ණ කර ගනිමින් සමස්ත ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුනෙ සිය ජය තහවුරු කර ගනිමිනුයි.
- ශ්‍රී ලංකා පොලිසිය 29(5T, 2C) – යුද හමුදාව 14 (2T, 2C)
තරගයේ වීරයා – ශානක හරිස්චන්ද්‍ර (ශ්‍රී ලංකා පොලිසිය)
මේ සතියේ නිමාවත් සමඟ මෙතෙක් කල් ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටි CR & FC කණ්ඩායම තෙවැනි ස්ථානය කරා පහතට ඇද වැටුණා. එමෙන්ම වත්මන් ශූරයින් වන මහනුවර දැන් ලකුණු සටහනේ පෙරමුණට පැමිණ ඇත්තේ ලකුණු 45ක් සමඟයි. එමෙන්ම CH & FC ක්‍රීඩකයින් ලකුණු 43ක් සමඟ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.
දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.




















