2025 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ තෙවැනි සතියට අදාළ ව තරග හතරක් නිමා වූ සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. පසුගිය නොවැම්බර් මාසයේ දී ඇති වූ ගංවතුර ආපදා තත්වය නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකි වු තෙවැනි සතියේ තරගයි මෙසේ නිමා වූ සතියේ දී ක්‍රියාත්මක වුනේ. එමෙන්ම මෙය මෙම වසර සඳහා රග්බි ලීගයේ තරග ක්‍රියාත්මක වූ අවසන් සතිය ලෙස ද සටහන් වුනා.
එම තරග තොරතුරු පහතින් දැක්වෙනවා;
මහනුවර සහ Siri Lions
මෙවර තරග වාරය තුළ තරමක් මන්දගාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් සිටින Siri Lions ක්‍රීඩා සමාජයට ඉතා දරුණු පරාජයකට මුහුණ දීමට මෙම තරගයේ දී සිදු වුනා.
තරගයේ පළමු අර්ධය තුළ Siri Lions ක්‍රීඩකයින් විසින් එක් දඬුවම් පහරක් පමණක් සාර්ථක කර ගනිමින් ලකුණු තුනක් ලබා ගන්නා අතරේ, මහනුවර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් හතක් සමඟ ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙම අර්ධය තරමක් හෝ සාමාන්‍ය මට්ටමේ එකක් බවට පත් කිරීමට සමත් වූ මහනුවර ක්‍රීඩකයින් තරගයේ දෙවැනි අර්ධය තුළ තවත් උත්සාහක දිනුම් 8ක් සමඟ ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුනේ සිය මුළු ලකුණු සංඛ්‍යාව 91ක් කරා රැගෙන යමිනුයි. එම අර්ධය තුල Siri Lions ක්‍රීඩකයින් විසින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ.
මහනුවර 91 (15T, 8C) – Siri Lions 03 (1P)
- තරගයේ වීරයා – දහන් වික්‍රමාරච්චි (මහනුවර)
Havelock සහ යුද හමුදාව
මෙම තරගය ද පෙර තරගය තරම් නොවූවත් ඉහළ මට්ටමින් ලකුණු වාර්තා වූ එකක් ලෙස හැඳින්විය හැකි.
තරගයේ පළමු අර්ධය තුළ ජය තමන්ගේ බව තහවුරු කර ගත් හැව්ලොක් ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් 6ක් සමඟ ලකුණු 34ක් වාර්තා කිරීමට සමත් වූ අතර, එම කාලය තුළ යුද හමුදාව පාර්ශවයෙන් එකදු ලකුණක් හෝ වාර්තා වුනේ නැහැ.
තරගයේ දෙවැනි අර්ධය තුළ යුද හමුදාව නැවත තරගයට අවතීර්ණ වීමට යම් පමණක හෝ උත්සාහයක දැරූ නමුත්, ඔවුන් එහි දී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි. එම කාලය තුළ හැව්ලොක් ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා.
Havelock 41 (7T, 2C) – යුධ හමුදාව 12 (2T, 1C)
තරගයේ වීරයා – ජයතු රාජරත්න (Havelock SC)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
පොලිසිය සහ CR & FC
මෙම තරගයේ පළමු අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. කෙසේ වෙතත් එම කාල සීමාව තුළ CR ක්‍රීඩකයින් විසින් ලකුණු 17ක් ලබමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුල CR ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුනේ සමස්ත උත්සාහක දිනුම් 7ක් වාර්තා කරමිනුයි. මෙම කාලසීමාව තුළ පොලිසිය විසින් වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 17ක් පමණයි. ඒ අනුව තරගයෙන් CR & FC ක්‍රීඩකයින් ජය ලබා ගැනීමට සමත් වුනා.
CR & FC 46 (7T, 4C, 1P) – පොලිසිය 22 (3T, 2C, 1P)
- තරගයේ වීරයා – චෙමෝද් මුතුනාකය (CR & FC)
නාවික හමුදාව සහ CH & FC
මෙම තරගයේ පළමු අර්ධය තුළ පෙරමුණ ගැනීමට සමත් වූ CH & FC ක්‍රීඩකයින් විසින් ලකුණු 12ක් ලබා ගනිද්දී, නාවික හමුදාව පාර්ශවයෙන් වාර්තා වුනේ ලකුණු 03ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ ද තරගයේ තීරණය වෙනස් වන අන්දමේ සිදුවීමක් සිදු නොවෙමින් CH & FC ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් තරගය ජය ගැනීමට සමත් වුනා.
මෙහි දී CH & FC ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් 5ක් සමඟ ලකුණු 29ක් වාර්තා කිරීමට සමත් වූ අතර, නාවික හමුදාව විසින් වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 13ක් පමණයි.
CH & FC 29 (5T, 2C) – නාවික හමුදාව 13 (1T, 1C, 2P)
- තරගයේ වීරයා – ජනිත් චන්දිමාල්
දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<




















