නිරෝෂන් දික්වැල්ලගෙන් ශතකයක්

Major Club 50 Over Tournament 2024

94
Major Club 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවැති NCC සහ Tamil Union කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 228ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට NCC කණ්ඩායම සමත් වූවා.

NCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Tamil Union කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි NCC කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 359ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Tamil Union කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 131ක් පමණයි.

මෙම තරගයේ දී NCC කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනා. ඉනිම ආරම්භ කළ ඔහු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ වාර්තා වූ 2 වැනි ශතකය වූ අතර දික්වැල්ල ගේ පළමු පෙළ එක්දින තරගවල 13 වැනි ශතකයයි.

NCC ඉනිමේ අනෙක් ආරම්භක පිතිකරු වූ ලහිරු උදාර පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 88ක් ලබා ගනිමින් දික්වැල්ලට අනගි සහයෝගයක් දැක් වූවා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 168ක්.

ඔවුන් දෙදෙනාට අමතර ව චාමික ගුණසේකර පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

කඩුලු දවා ගැනීමේ දී අයන සිරිවර්ධන සහ සඳුන් වීරක්කොඩි කඩුලු 2ක් බැගින් දවා ගත් අතර තීසාන් විතුසාන්, අසංක මනෝජ්, ලහිරු සමරකෝන් සහ තරිඳු රත්නායක කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Tamil Union වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ සිනෙත් ජයවර්ධන යි. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

ඊට අමතර ව සිතාර හපුහින්න පන්දු 23ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අශේන් ඩැනියෙල් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූවා. ඔහු ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කළා. ඊට අමතර ව ලසිත් ඇඹුල්දෙණිය සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් ද සහ සහන් ආරච්චිගේ කඩුල්ලක් ද දවා ගත්තා.

  • A කාණ්ඩය

NCC සහ Tamil Union C & AC අතර NCC ක්‍රීඩාංගණයේ දී.

NCC – කඩුලු 8ක් දැවී 359 (50.0) නිරෝෂන් දික්වැල්ල 112, ලහිරු උදාර 88, කමිල් මිෂාර 24, කවින් බණ්ඩාර 42, චාමික ගුණසේකර නොදැවී 51, අයන සිරිවර්ධන 2/44, සඳුන් වීරක්කොඩි 2/29

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 131 (19.4) සිනෙත් ජයවර්ධන 33, සිතාර හපුහින්න 31, තරිඳු රත්නායක 19, චාමික කරුණාරත්න 2/34, අශේන් ඩැනියෙල් 4/41, ලසිත් ඇඹුල්දෙණිය 2/08

NCC කණ්ඩායමට ලකුණු 228ක ජයක්.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<