මහේල තනතුර ප්‍රතික්ෂේප කරයි

720

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් දින 4ක් පමණක් ඉතිරිව ඇත. කණ්ඩායම් සියල්ල ඒ සඳහා ලහි ලහියේ සූදානම් වන වටපිටාවක් මේ වන විට නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල ජයවර්ධන පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මුම්බායි කණ්ඩායමට ශූරතාවය ජයග්‍රහණය කිරීමට කැපී පෙනෙන වගකීමක් ඉටු කළ ආකාරය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

මාලිංග එන තෙක් දිමුත් නොඉවසිල්ලෙන්

2019 ලෝක කුසලාන තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින 4ක් පමණි. ලෝක…

ඒ අනුව මහේල ජයවර්ධන හට 2019 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාර තනතුරක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. නමුත් එම ආරාධනාව ප්‍රතික්ෂේප කරන බව මහේල ජයවර්ධන පවසා ඇත.

The Sunday Times පුවත්පත වෙත මාධ්‍ය සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මෙලෙස තම තීරණය දැනුම් දී ඇත. ඔහු පවසා සිටියේ තමන්ට ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ කළමනාකරණ තනතුරක් සඳහා ආරාධනාවක් ලැබුණ බවත්, තමන් මෙම කාලය වන විට මීට පෙර යොදා ගත් වෙනත් කාර්‍යයන් කිහිපයක් නිසාවෙන් හා තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව ඇති අවිශ්වාසය නිසාවෙන් මෙලෙස එම ආරාධනාව ප්‍රතික්ෂේප කරන බවයි.

“ඔව් මට ආරාධනා කළා. ඒත් මට වෙනත් කාර්‍යභාරයන් කීපයක් තිබෙනවා. අනෙක් කාරණය මට තේරුණේ නෑ මට ලැබෙන තනතුර. ඒ හින්දා මම මේකට සම්බන්ධ වන එකේ තේරුමක් නෑ. මේ වෙද්දී කණ්ඩායම තෝරලා ඉවරයි. හැමදේම කරලා ඉවරයි. ඒ හින්දා මට ඇවිල්ලා එකතු කරන්න දෙයක් නෑ” යනුවෙන් මහේල පවසා තිබේ.

වසර තුනක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟින් පුහුණුකරු ලෙස කටයුතු කරන මහේලගේ මෙහෙයවීම යටතේ මුම්බායි කණ්ඩායම දෙවරක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය ජයග්‍රහණය කර ඇත. 2007 වසරේ ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍ය හිමිකරගත් මහේල එම වසරේ අවසන් තරගය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ආවේය. 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ මහේල එම වසරේ ද අවසන් මහා තරගය නියෝජනය කිරීමට තරම් වාසනාවන්ත විය.

මහේල ජයවර්ධන තමන්ගේ සැලසුම් හා කණ්ඩායම මෙහෙයවීම පිළිබඳව මනා දැනුමක් සහිත ක්‍රීඩකයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ සේවය සඳහා යොමු වීමට එය හේතුවක් වන්නට ඇත.

පසුගිය වසරේ මහේල ජයවර්ධන කුමාර් සංගක්කාර හා අරවින්ද ද සිල්වා සමඟින් එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සැපයීය. එම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කළ බව පසුව සඳහන් විය.

“අපි එකතු වෙලා ක්‍රිකට් ගොඩනැගීමට මාස 8ක සැලසුමක් හැදුවා. ඒක අපි එයාලට දුන්නා. ඒත් එයාලා ඒක ප්‍රතික්ෂේප කළා. අපි ඒක කළේ අපේ ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාවට හෝ එංගලන්ත ලීග් තරගාවලිවලට ගිහින් අහිමි වෙනවා බලන්න බැරි හින්දා. අපිට ඒ ක්‍රීඩකයන් අවශ්‍යයි. ඔවුන්ට ගොඩක් අත්දැකීම් තියනවා.”

“ඒ ක්‍රීඩකයන් අපේ දේශීය තරගාවලිවල නැතුව අපිට අලුත් ක්‍රීඩකයන්ව ගොඩනගන්න බෑ. සමහර දේශීය කණ්ඩායම් තියනවා ඔවුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 25ක් විතර. ඒක ගොඩක් කණගාටුදායකයි. අපි සෙල්ලම් කරද්දී අපිව හදන්න ගොඩක් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් හිටියා. ඒවගේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් නැතිව අපිට ශක්තිමත්ව දේශීය ක්‍රිකට් ගොඩනගන්න බෑ. එහෙම කරන්නේ නැතුව ක්‍රීඩාංගණ හදලා වැඩක් නෑ.”

“අපිට ගුණාත්මක ක්‍රීඩකයන් ඕන. අපි මේක වසර ගාණක් තිස්සේ කියන දෙයක්. ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල දේශීය තරග ක්‍රීඩා කරන්නේ නැතිව අපි කොහොමද තරුණ ක්‍රීඩකයින්ව ගොඩනගන්නේ?”

සෑම කණ්ඩායමකටම දූෂණ විරෝධී කළමනාකරුවන්

තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත ICC ලෝක කුසලාන එක්දින…

“අපේ දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේ දී ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකයි භාවිතා කරන්නේ. පළමු පෙළ තරග ගාල්ල, දඹුල්ල, නුවර, හම්බන්තොට වගේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරන්නේ නෑ. ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේවත් ක්‍රීඩා කරන්නේ නෑ. ඒ තරග කිසිම වැඩක් නෑ. ඒක තමයි මේ ව්‍යුහයේම ප්‍රශ්නයක් තියෙන්නේ. ක්‍රිකට් ආයතනය ඒක තේරුම්ගන්න තෙක් අපිට ස්ථාවර ක්‍රීඩකයන් හදන්න බෑ. අපි දක්ෂ ක්‍රීඩකයන්ව හදයි. නමුත් ඔවුන්ට අවශ්‍ය ස්ථාවරභාවය හදන්න බෑ.”

තමන් මෙරට ක්‍රිකට් ආයතනය සමඟ කිසිදු ගනුදෙනුවක් කිරීමට අකමැති බව මෙම සම්මුඛ සාකච්ඡාවේ දී මහේල පවසා සිටියා.

“මම තාමත් ගොඩක් සතුටුයි මගේ පැත්තෙන් කණ්ඩායමට සහය දෙන්න. නමුත් ක්‍රිකට් ආයතනය එක්ක මට කරන්න වැඩක් නෑ. මම මටම කියා ගන්න දෙයක් තියනවා. මට ගැළපෙන තැනක් නෙමෙයි නම් මම කාත් එක්කවත් වැඩ කරන්නේ නෑ.”

මහේල ජයවර්ධනගේ මෙම තීරණය ක්‍රීඩාලෝලීන්ට එතරම් සුබදායක නොවූවත් මෙම අවස්ථාව එලෙස කළමනාකරණයට සම්බන්ධ වීමට අවස්ථාවක් නොවන බව අප සියලු දෙනාට තේරුම් ගත හැක.

මහේල ජයවර්ධන ලෝක කුසලානය සඳහා සන්නාම තානාපතිවරයෙක් ලෙස සහභාගි වීමට නියමිතයි. ඒ පිළිබඳව පසුගිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කර තිබුණි.

මහේලට මෙවර ලෝක කුසලානයේ දී අලුත් තනතුරක්

2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වූ නිල සන්නාම තානාපතිවරුන්…

ඒ අනුව තරගාවලිය පුරාවටම මෙම ලෝක කුසලාන සන්නාම තානාපතිවරුන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවලට පැමිණීමට නියමිත අතර ක්‍රීඩාලෝලීන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වීමට ද නියමිතයි.

මෙම සන්නාම තානාපතිවරුන් තරගාවලියේ විශේෂ අවස්ථාවන් හා ක්‍රීඩකයන් පිළිබඳව අදහස් දක්වමින් ලිපි පල කිරීමට නියමිත අතර ක්‍රීඩාලෝලීන්ට තරගාවලියේ දිශානතිය පිළිබඳව ඔවුන්ගේ මතය එමගින් පළකරනු ඇත.

2019 ලෝක කුසලාන ක්‍රිකට් වසන්තය මැයි මස 30 වැනිදා එංගලන්ත දකුණු අප්‍රිකා තරගයෙන් ආරම්භ වේ.

ලෝක කුසලානය පිළිබඳව සියලුම තොරතුරු හා ICC හි නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස තරගාවලියේ විශේෂ වීඩියෝ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සියල්ල සූදානම් කර ඇත. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<