කණ්ඩායම ශක්තිමත් කළ මහේලගේ උපක්‍රම 5

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

296
Mahela reveals 5 key strategies

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට මහේල ජයවර්ධනගේ ආගමනය ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට සමත් වූ බව නොරහසක්. පසුගිය තරග කීපය තුල දී ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා එයට සාක්ෂි සපයයි.

මහේල ජයවර්ධන අද (22) පැවැත්වීමට නියමිත නෙදර්ලන්ත තරගයෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. නමුත් ඔහු ඉදිරියේ දීත් ශ්‍රී ලංකාව සමඟින් උපදේශකවරයෙකු ලෙස සමීපව කටයුතු කිරීමට නියමිතයි.

මහේල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mumbai Indians කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් අබුඩාබි හි රැඳී සිටි අතර ඔහු පසුගිය ඔක්තෝබර් 10 වැනිදා ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායම සමඟින් එක්වුනා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමට පෙර මහේල එංගලන්තයේ The Hundred තරගාවලියේ Southern Brave සමඟ කටයුතු කළා. එම කාලය තුල දිගින් දිගටම ජෛව ආරක්‍ෂිත වටපිටාවන් තුළ කටයුතු කිරීමෙන් තමා වෙහෙසට පත්ව සිටින බව මහේල පවසා තිබෙනවා.

මම දැනට දවස් 135ක් මේ ජෛව ආරක්‍ෂිත වටපිටාවේ ඉඳලා තියනවා. පසුගිය ජුනි මාසයේ ඉඳන් මම නිරෝධායනයේ සහ ජෛව ආරක්‍ෂිත වටපිටාවන් තුළ ඉන්නවා. මට තේරෙනවා කණ්ඩායමට අවශ්‍ය මාව තියාගන්න කියලා. ඒත් මම ඔවුන්ට කිව්වා මේ තියන තාක්ෂණය එක්ක මම ඔවුන් එක්ක ඉන්නවා කියලා. මම හිතනවා ඕනෙම කෙනෙක්ට මගේ තත්ත්වය තේරෙනවා කියලා. මම තාත්තා කෙනෙක්. මම දවස් ගාණකින් මගේ දුව දැකලා නැහැ. මම හිතනවා මම දැන් ගෙදර ඉන්න ඕනේ කියලා, මාධ්‍යවේදීන් අමතමින් මහේල ජයවර්ධන පවසා සිටියා.

ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සමඟින් එක්වීමට පෙර මහේල විසින් කණ්ඩායමට වැදගත් අදහස් කීපයක් එක් කර තිබුණා. ඒ පසුගිය මාසයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසිය අතරතුර දීයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පුහුණුකරු Mickey Arthur මෙන්ම නායක දසුන් ශානක ද පසුගිය දා අදහස් දක්වා තිබුණා. ඔවුන් එහි දී මහේලගේ ආගමනය කණ්ඩායමට සිදු කළ බලපෑම පිළිබඳව ද පවසා සිටියා.

මහේල තමන් පසුගිය කාලය තුල කණ්ඩායමේ සිදු කළ ප්‍රධාන වෙනස්කම් 5ක් පිළිබඳව පවසා තිබෙනවා.

අසාර්ථක වීමට ඇති බිය

Sri Lanka Cricketමහේල ජයවර්ධන ලොව දක්ෂතම සහ විශිෂ්ටතම පුහුණුකරුවෙකු ලෙස සැලකෙනවා. ඔහු කණ්ඩායමට එක්වූ කාලය තුළ ශ්‍රී ලංකාවට නිර්භයව තරගයකට මුහුණ දීමට අවශ්‍ය මානසිකත්වය ගොඩනගා තිබෙනවා.

ශ්‍රී ලංකාව පසුගිය කාලය තුල යම් පසුබෑමකට ලක්ව සිටිය ද, ඔවුන් අවසන් වරට සහභාගී වූ තරග 6 ම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ඒ ඕමාන තරග දෙකක්, පුහුණු තරග දෙකක් සහ සුදුසුකම් ලැබීමේ වටයේ තරග දෙකක් ලෙසින්.

මගේ මූලික අරමුණ වුනේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ වගකීම් හඳුන්වලා දෙන්න. මම පුහුණුකරුවන් එක්ක කතා කළාම මම දැක්ක දෙයක් තමයි ක්‍රීඩකයන් අසාර්ථක වෙන්න යම් බයකින් ඉන්නවා කියන එක. විස්සයි විස්ස තරග රටාවේ දී එහෙම බැහැ. එහෙම වුනොත් සමහර අවස්ථාවල දී පීඩනය දරා ගන්න එක සහ පීඩනය ප්‍රතිවාදීන් වෙත එල්ල කරන එක අමාරු දෙයක්. අපි මේ ගැන ක්‍රීඩකයන් එක්ක වෙන වෙනම කතා කළා. විශේෂයෙන් පිතිකරණය ගැන අපි ලොකු අවධානයක් යොමු කළා ඒ පැත්තෙන් අපිට හදාගන්න ගොඩක් දේවල් තියන නිසා.

දත්ත විශ්ලේෂණය Sri Lanka Cricket

මහේලගේ දත්ත විශ්ලේෂණය පිළිබඳව ද පුහුණුකරු Mickey Arthur සහ දසුන් ශානක පසුගිය දා අදහස් දක්වා සිටියා. ඔහුගේ විශ්ලේෂණ අනුව පිතිකරණ ලැයිස්තුවේ වෙනස්කම් කීපයක් ද සිදු කර තිබුණා. ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු අංක 4 ස්ථානයට ක්‍රීඩා කරන අතර භානුක රාජපක්ෂ අංක 5 ලෙස ක්‍රීඩා කරනවා.

ඒකේ දී අපි දැක්කා ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කිරීමත් එක්ක කණ්ඩායමට යම් බලපෑමක් වුනා. අපිට ඕනේ වුනා කණ්ඩායමේ මැදපෙළට යම් ශක්තියක් එක් කරන්න. ආරම්භක පිතිකරුවන් විතරක් හොඳ වෙලා මේ වගේ තරගාවලියකට යන්න බැහැ. මේ ප්‍රශ්නය විසඳන්න අපිට ඕනේ වුනා අවිශ්කගෙන් යම් ප්‍රයෝජනයක් ගන්න. අපි දැක්කා අවිශ්ක මුල්පෙළ ක්‍රීඩකයෙක් විදියට යම් පසුබෑමකට ලක්වෙනවා. ආරම්භක පිතිකරුවෙක් විදිහට ඔහු සමහර පන්දු යවන්නන් හමුවේ පසුබෑමකට ලක්වෙනවා. අපිට ඕනේ වුනා ඒක නැති කරන්න. අපි ඔහුගේ දත්ත දිහා බැලුවම දැක්කා ඔහු සමහර පන්දු යවන්නන් හමුවේ සාර්ථක වෙලා තියනවා.

තත්ව ගැලපීම්

Sri Lanka Cricketශ්‍රී ලංකාව පසුගිය දා අයර්ලන්තය සමඟ ක්‍රීඩා කළ තරගයේ දී මුල් කඩුලු තුනම ලකුණු 8ක් තුළ දැවී ගියා. එහි දී ශ්‍රී ලංකාව යම් අසීරු අඩියක පසු වූ අතර වනිඳු හසරංග හට පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබා දී තිබුණා.

එහි දී ඔහු සාර්ථක ප්‍රතිඵල පෙන්වමින් පන්දු 47ක් තුළ ලකුණු 71ක් වාර්තා කිරීමට සමත් වුනා. එම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

වනිඳු හසරංග එක් එක් තරගයේ තත්ත්වය අනුව සිය පිතිකරණ ස්ථානය වෙනස් කරන ක්‍රීඩකයෙක් වූ අතර ඔහුට පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබා දීම මහේලගේ තීරණයක් වී තිබුණා.

විස්සයි විස්ස තරගවල දී පන්දුවාර කීපයකින් තරගය වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ඒක පන්දු 4ක් 5ක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බදාදා තරගය ගත්තම powerplay පන්දුවාරවල 6 වැනි පන්දුවාරයේ Simi Singh දඟපන්දු යවන්නාට වනිඳු ක්‍රීඩා කරපු පන්දු 6.

ඒකෙ දී අපිට පුළුවන් වුනා අපේ තිබුණ පීඩනය අනෙක් කණ්ඩායමට දෙන්න. අපි දැනගෙන හිටියා වනිඳුට තියන හැකියාව ගැන. අයර්ලන්තය යම් වැරැද්දක් කළා powerplay එකේ දී දඟපන්දු යවන්නෙක් යොදාගෙන. අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා. ඒක විස්සයි විස්ස තරගයේ ලොකු වෙනසක් කරන්න සමත් වුනා.

විස්සයි විස්ස තරගයක අපිට ඒ වගේ තත්ව පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. පුහුණුකරුවන් විදිහට අපි උත්සාහ කරන්න ඕනේ ඒ වගේ තත්ත්ව වලට ක්‍රීඩකයන් සූදානම් කරන්න.

වේගපන්දු යවන්නන්

Sri Lanka Cricketශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා පිවිසුණේ පැයට කිලෝමීටර් 140 ඉක්මවූ වේගපන්දු යැවිය හැකි පන්දු යවන්නන් තිදෙනෙක් යොදා ගනිමින්. ඒ දුශ්මන්ත චමීර, ලහිරු කුමාර සහ චාමික කරුණාරත්නයි.

නැමීබියාව සහ අයර්ලන්තයට එරෙහිව වේගවත් පන්දු යවමින් එහි උපරිම ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. ලහිරු කුමාර ලෝක කුසලාන මූලික සංචිතයේ නොසිටි අතර ලහිරු මධුශංක ආබාධයකට ලක් වීමත් සමඟින් ඔහු කණ්ඩායමට එක්කර තිබුණා.

මම හැමවෙලේම විශ්වාස කරන දෙයක් තමයි තරගාවලි ජයග්‍රහණය කරන්නේ පන්දු යවන්නන් කියන එක. ඒ හින්දා මේ වගේ ප්‍රයෝජන තියන පන්දු යවන්නන් ඉන්න එක ගොඩක් වටිනවා. විශේෂයෙන් හොඳ පිතිකරණ ලැයිස්තුවක් නවත්වන්න තියන එකම ක්‍රමය කඩුලු ලබා ගැනීම.

අපිට වේගපන්දුවෙන් හෝ දඟපන්දුවෙන් ඒ හැකියාව තියෙන්න ඕනේ. මම තරගාවලියට කලින් වාස් එක්ක කතා කළා. ඔහු එහි දී කිව්වා ලහිරු කුමාර ලබාගෙන තියන ප්‍රගතිය ගැන සතුටක් තියනවා කියලා. විශේෂයෙන් යෝකර් පන්දුව ගැන.

ඒ වගේම දුශ්මන්ත චමීර පසුගිය මාස 12 තුළ ලොකු ගමනක් ඇවිල්ලා තියනවා. දක්ෂතාවය අතින් ඔහු ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න ප්‍රබලතම ක්‍රීඩකයෙක්. අපිට මේ වගේ තරුණ ක්‍රීඩකයන් දියුණු කරන්න පුළුවන් නම් අපිට කණ්ඩායම ගැන විශ්වාසයක් ඇතිවෙනවා.

මේ තරග කීපයේ දී පන්දුවාර 20 තුල දී ම ප්‍රතිවාදී කණ්ඩායමට අභියෝගයක් එල්ල කරන්න අපිට පුළුවන් වුනා. විශේෂයෙන් චාමික කරුණාරත්න හොඳින් පන්දු යැවුවා. අපි ඔහුට වගකීම් කීපයක් දීලා තියෙන්නේ. ඔහු ලොකු බලපෑමක් කරනවා.

නායකත්ව කණ්ඩායම

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම බිහි කළ විශිෂ්ටතම නායකයා ලෙස ද හැඳින්වෙනවා. උපක්‍රමශීලී නායකයෙකු වූ ඔහු වර්තමානයේ දී පුහුණුකරුවෙකු සහ උපදේශකයකු ලෙස ඔහුගේ දැනුම නවක පරම්පරාවට ලබා දෙමින් සිටිනවා. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වය පිළිබඳව ද මහේල විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

මම හිතන්නේ දසුන්ට හොඳට තත්ව පාලනය කරන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕනේ ඔහු තරුණ සහ අත්දැකීම් අඩු නායකයෙක්. ඔහුට ලොකු සහයක් දෙන්න ඕනේ. මේ නිසා අපි කණ්ඩායම ඇතුළේ නායකත්ව කණ්ඩායමක් හැදුවා.

තරගයේ දී ඔහුට අවශ්‍ය සහය ලබා දෙන්න ඔවුන් කටයුතු කරනවා. තරගයක සැලසුම් මතක තියාගන්න එක අමාරු දෙයක්. මේ කණ්ඩායම ඔහුට ඒකට උදව් කරාවි. ඒකෙන් ඔහුට යම් විශ්වාසයක් ලැබෙනවා. ප්‍රතිවාදීන්ට වෙනස් සැලසුම් තියෙන්න පුළුවන්. ඒ වගේම පිතිකරුවන් එක් එක් පන්දු යවන්නාට වෙනම සැලසුම් හදන්න පුළුවන්. ඒක අපේ සැලසුම්වල නැති එකක් වෙන්න පුළුවන්.

ඒ වගේ වෙලාවක දී තමයි දසුන් නායකයෙක් විදිහට පරිණත වෙන්න ඕනේ. අපි මේ ගැන ඔහුත් එක්ක දිගටම කතා කරනවා. ඔහු දවසින් දවස ගොඩක් දියුණු වෙනවා. මහේල පවසා සිටියා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (22) නෙදර්ලන්තය සමඟින් පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<