ස්කොට්ලන්තය, ඕමාන සිහින බොඳ කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

201
Oman vs Scotland

7 වැනි පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) දින නිමා වූ ස්කොට්ලන්තය සහ ඕමානය අතර තරගයෙන් ස්කොට්ලන්තය කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟින් ඕමාන කණ්ඩායමේ සියලු බලාපොරොත්තු අතහැර ගන්න සිදු වුනා.

ඕමානයේ Al Amerat ක්‍රීඩාංගණයේ දී මෙම තරගය ආරම්භ වන විට ස්කොට්ලන්තය අපරාජිතව සිටිමින් ප්‍රසාද ලකුණු 4ක් (NRR 0.575) ලබා ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ ද, ඕමානය එක් තරග ජයග්‍රහණයක් සමඟින් ප්‍රසාද ලකුණු 2ක් (NRR 0.613) ලබා ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ ද සිටියා. මේ තරගයේ දී සත්කාරකයන්ට ඉදිරියට යෑමට නම් ජයග්‍රහණය අනිවාර්ය වී තිබුණා.

කෙසේ වෙතත් අත්දැකීම් අතින් ඉදිරියෙන් සිටින ස්කොට්ලන්තය තරගාවලියේ කුසලාන වටයේ අවසන් කණ්ඩායම් 12 අතරට පෙර තරගයේ දී ම ලබා ගත් සුදුසුකම තවදුරටත් තීව්‍ර කරගත්තේ බංග්ලාදේශය එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට දමමින්.

තරගය අවසන් වන විට ස්කොට්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ ද, බංග්ලාදේශය දෙවැනි ස්ථානයේ ද රැඳී සිටියා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමානය සියලුම දෙනා දැවී ලකුණු122ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ස්කෝට්ලන්තය පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 123ක් වාර්තා කරගත්තා.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕමාන නායකයා තම පළපුරුදු තණතීරුවේ වාසිය ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.

  • ඕමාන කණ්ඩායම: Zeeshan Maqsood (නායක), Aqib Ilyas, Jatinder Singh, Khawar Ali, Kashyap Prajapati,  Naseem Khushi, Mohammad Nadeem, Suraj Kumar (කඩුලු රකින්නා), Fayyaz Butt,  Sandeep Goud, Bilal Khan.
  • ස්කෝට්ලන්ත කණ්ඩායම: Kyle Coetzer (නායක), George Munsey, Matthew Cross (කඩුලු රකින්නා), Richie Berrington, Calum MacLeod, Mathew Leask, Chris Greaves, Mark Watt, Josh Davey, Safyaan Sharif, Brad Wheal.

නමුත් එම තීරණය අභියෝගයට ලක් කරමින් තරගයේ යවනු ලැබූ දෙවැනි පන්දුවේ දී Jatinder Singh දුවද්දී දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වුනා. අනතුරුව දෙවැනි කඩුල්ලේ දී ද සත්කාරකයන්ට වැඩි යමක් කිරීමට හැකි වූයේ නැහැ. ලකුණු පුවරුව 13ක් වන විට Kashyap Prajapati (3) ද ඉනිම හැර ගියා.

ඉන්පසුව ඕමානයට යම් සහනයක් වෙමින් ආරම්භක පිතිකරු Aqib Ilyas සහ Mohammad Nadeem එක්ව ඕමාන ලකුණු පුවරුව ලකුණු 50 සීමාව දක්වා රැගෙන ආවා. එහෙත් Aqib Ilyasගේ ඉනිම ද අවසන් කිරීමට ප්‍රතිවාදින් සමත් වුනා. Ilyas පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් රැස් කරගත්තා. ඕමාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ද Aqib Ilyas.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 38ක්. ඒ වෙනුවෙන් ඔවුන් පන්දු 40ක් වැය කර තිබුණා.

අනතුරුව පිටියට පිවිසියේ නායක Zeeshan Maqsood. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 28ක් එක් වන විට Mohammad Nadeem ද පිටියට හැර ගියා. ඔහු දැවී යන විට පන්දු 21කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් වාර්තා කරගෙන සිටියා.

එතැන් සිට ඕමාන නායකයාට සිදු වූයේ තරගය තමන්ගේ පාලනයට නතුකර ගන්නයි. එහෙත් ඒ ගමනට වැඩි ආයුෂ තිබු‍ණේ නැහැ. Sandeep Goud (5) සහ Naseem Khushi (2) පන්දු 5ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යැවීමට ස්කොට්ලන්ත ක්‍රීඩකයන් සමත් වුනා. ඉන් අනතුරුව පිටියට පිවිසි Suraj Kumarගේ ඉනිම ද ලකුණු 4කට සීමා වුනා.

අනතුරුව අවසන් පන්දුවාරයේ අවසන් පන්දු හතරේ දී කඩුලු 3ක් අහිමි කර ගනිමින් ඕමාන ඉනිම අවසන් වුනා. එම දැවී යාම් ආරම්භ කළේ එතෙක් මනා සංයමයකින් පන්දුවට පහර දෙමින් සිටි නායක Zeeshan Maqsood. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් රැස් කරගත්තා.

අවසන් පිතිකරුවන් වූ Fayyaz Butt ලකුණු 7ක් සහ Bilal Khan ලකුණක් ද ලබා දැවී ගියා. ඉනිම අවසන් වන විට Khawar Ali ලකුණු නොලබා නොදැවී පිටියේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන Josh Davey ලකුණු 25කට කඩුලු 3ක් ද, Safyaan Sharif සහ Mathew Leask කඩුලු 2 බැගින් ද Mark Watt එක් කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු 123ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි ස්කෝට්ලන්ත ක්‍රීඩකයෝ පළමු කඩුල්ලෙන්ම හොඳ ආරම්භයක් ලබා ගත්තා. George Munsey සහ නායක Kyle Coetzer එක්ව ඇරඹූ එම ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 33ක්. Munsey පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් රැස් කරගත්තා.

ඊළඟ කඩුල්ලට Coetzer දැවී යන විට ස්කොට්ලන්ත ඉනිම ලකුණු 75 රැඳී තිබුනු අතර Coetzer පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් වාර්තා කරගෙන සිටියා. Coetzer සහ Matthew Cross අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 42ක් වූ අතර ඊට වැය වූ පන්දු සංඛ්‍යාව 32ක්.

අනතුරුව පිටියට එක් වූ Richie Berrington සමඟ එක් වූ Cross තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කරා ගෙන ගියේ තවත් පන්දු 18ක් ඉතිරිව තිබිය දී. ජයග්‍රාහී ඉලක්කය සපුරා ගන්නා විට Matthew Cross පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 26ක් රැස් කරගෙන සිටියා.

තරගයේ ජයග්‍රහණය සඳහා හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 21කට මුහුණ දුන් Berrington නොදැවී ලකුණු 31ක් වාර්තා කරගෙන සිටියා. ඔවුන් දෙදෙනා අතර 3 වැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව පන්දු 42ක දී ලකුණු 48ක්.

කඩුලු දවා ගැනීමේ දී Fayyaz Butt සහ Khawar Ali එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඕමානය – සියලුම දෙනා දැවී 122 (20): Aqib Ilyas 37, Mohammad Nadeem 25, Zeeshan Maqsood 34, Josh Davey 3/25, Safyaan Sharif 2/25, Mathew Leask 2/13.

ස්කොට්ලන්තය – කඩුලු 2ක් දැවී 123 (17): George Munsey 20, Kyle Coetzer 41, Matthew Cross නොදැවී 26*, Richie Berrington නොදැවී 31*.

තරගයේ වීරයා : Josh Davey (ස්කොට්ලන්තය)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

>> Click here to view Full Scorecard