මහේලගේ උපදෙස් ශ්‍රී ලංකාවට විශාල දීමනාවක් – මුරලි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

385

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස මහේල ජයවර්ධන කටයුතු කිරීම ශ්‍රී ලංකාවට විශාල ප්‍රසාද දීමනාවක් බව 2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන් පවසනවා.

උපදේශක පුහුණුකරුවෙකු ලෙස ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය කාර්යභාරය ඉටු කරන අතර, මුරලිගේ රාජකාරිය වී තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ප්‍රවර්ධනය කිරීමයි.

නෙදර්ලන්තය සමඟ පැවැත්වෙන තරගය නිමා වීමෙන් පසුව මහේල අද (22) ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව ගියත්, පසුගිය සති දෙක තුළ දී තරුණ ක්‍රීඩකයින් ඔහුගෙන් ලබා ගත් අත්දැකීම් සහ උපදෙස් මේ තරුණ ක්‍රීඩකයින්ට ඉතා වැදගත් වනු ඇතැයි මුරලි විශ්වාස කර සිටිනවා.

“ඔවුන් [ශ්‍රී ලංකාව] හොඳින් ක්‍රීඩා කරමින් සිටින්නේ, ඒ් ඔවුන් බොහෝ ක්‍රීඩා තරගවලට සම්බන්ධ වී ඇති නිසයි. එයට අමතරව මහේල ජයවර්ධන සිටීම අපේ කණ්ඩායමට විශාල ප්‍රසාද දීමනාවක් වෙනවා.

පසුගිය අවුරුදු හය – හතේ මේ තරුණ ළමයින්ට සුළු මඟ පෙන්වීමක් තිබුණේ. මහේලගේ මඟ පෙන්වීම සති දෙකක වගේ ඉතා කෙටි කාලයක් සඳහා වූ බව මම දන්නවා. නමුත් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඔහු ඉතාමත් පළපුරුද්දක් ඇති අයෙක්. ඔහු ලෝකයේ සෑම තැනකම තරග ක්‍රීඩා කරලා ජයග්‍රහණ කරලා තියෙනවා, දිනන විදිහ දන්නවා.

මෙම ආකෘතිය තුල කටයුතු කළ යුතු ආකාරය ඔහු හොඳින්ම දන්නවා. ඔහු කණ්ඩායම් විවේකාගාරයේ දී සිය අත්දැකීම් හුවමාරු කර ගැනීම ඉතා හොඳයි. මේ වගේ දේවල්වලින් තමයි ක්‍රීඩකයින්ගේ දියුණුව වෙන්නේ, මොකද ඔවුන්ට හැකියාව තිබෙනවා අවශ්‍ය වන්නේ නිසි මඟ පෙන්වීමක් විතරයි”, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කුසලානය ආවරණය කරමින් සිටින මාධ්‍යවේදීන් වෙත මුරලි පැවසුවා.

හිටපු ශ්‍රී ලංකා නායකයෙක් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු වන මහේලට තවදුරටත් කණ්ඩායම සමඟ එක දිගට රැඳී සිටීම අපහසු බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් උපදේශක කමිටුවේ සාමාජිකයෙක් ද වන මුරලි තහවුරු කළා. ඒ සඳහා හේතුව තිබෙන්නේ ජෛව ආරක්ෂිත බුබුලක් තුල මාස 3කට වඩා වැඩි කාලයක් තිස්සේ රැඳී සිටීම අපහසු වීමයි.

“මේ ගැන අපි ඔහු සමඟ කතා කළා, නමුත් ඔහු මාස 3-4ක් තිස්සේ එකදිගට ජෛව ආරක්‍ෂිත බුබුලක් තුලට වී නිවසින් බැහැරව සිටීම අපහසු බව ඔහු පැවසුවා. ඔහුගේ ඒ අපහසුතාවය අපට වැටහුණා. ඔහුට දැන් ටික විවේකයක් අවශ්‍යයි.

ඔහු තරගාවලියේ ආරම්භයේ ඉඳන් කණ්ඩායමත් එක්ක ඉඳලා ඒ තරුණ ක්‍රීඩකයින්ට දෙන පුළුවන් හැම දෙයක්ම දෙන්න ඇති කියලා අපි හිතනවා. මහේල ගියායින් පස්සේ කණ්ඩායම එක්ක ප්‍රධාන පුහුණුකරු ඒ වගේම තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු පුහුණුකරුවන් ඉන්නවා”, යැයි මුරලි පැවසීය.

49 හැවිරිදි මුරලිදරන් එතෙක් මෙතෙක් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු සුපිරිතම දඟපන්දු යවන්නෙක් වන අතර ඔහු තරග ආකෘති තුනේම සමස්ත ජාත්‍යන්තර කඩුලු 1347ක් දවාගෙන තිබෙනවා. ඔහු ලෝක කුසලාන තරග දෙකක දී කඩුලු 6ක් දවා ගත් ‘Mystery’ spinner’ මහීෂ් තීක්ෂණට අවවාදයක් ලබා දුන්නා.

“මහීෂ් හොඳින් පන්දු යවනවා, ඔහු කඩුලු ලබා ගන්නවා. එය ඉහළ පහළ යන්න පුළුවන්, ඒක ක්‍රීඩාවේ ස්වභාවය සහ ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඔහු හඳුනා ගෙන ඒ සඳහා අවශ්‍ය විදිහට හැඩගැහෙන්න ඕනේ. තාක්ෂණය එක්ක ඉස්සරහට දියුණු වෙන ලෝකේ මේක තවත් අමාරු දෙයක් කියලා හැමෝම තේරුම් ගන්න ඕනේ.

හැබැයි ඒ වෙනස් වීම් සඳහා හොඳින් පුහුණුවීම් කරලා, වෙනස් වෙනස් දේවල් අත්හදා බැලීම් කරලා සාර්ථක වෙන ගමන්, දියුණු වෙන්න තමන් දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගමන ගොඩක් දුෂ්කර වෙන්න පුළුවන්. අපි හොඳටම දන්නවා අජන්ත මෙන්ඩිස්ට අවසානයේ දී මොකක්ද වුනේ කියලා.”

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතීරුවල ඉදිරි තරගවල දී දඟපන්දු යවන්නන්ගෙන් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න ඕනේ. දැනටත් අපිට යම් යම් තණතීරුවල හැසිරීම කලින් තරගවලට වඩා පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා කියලා තේරෙනවා. ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල දැනට ඉදිරියෙන්ම ඉන්න පන්දු යවන්නන් 10 දෙනා අරගෙන බලන්න එතැන ඉන්න බහුතරයක් 8 දෙනෙක් වගේම දඟපන්දු යවන්නන්.”

“මේ වගේ තණතීරුවල ඉස්සරහට යන්න යන්න ඔබේ පන්දු යැවීම මන්දගාමී වන තරමට පහර දීම වඩාත් අපහසු වේවි. පන්දුව ඔවුන් මතට එන විට පිතිකරුවන් කැමතියි. නමුත් දඟපන්දු යවන්නන් සම්බන්ධයෙන් එය එහෙම වෙන්නේ නැහැ.  ඒ නිසා T20 ක්‍රිකට් ක්‍රීඩාවේ දී දඟපන්දු යවන්නන්ට විශාල බලපෑමක් කරන්න පුළුවන්.

එලෙසම වේගපන්දු යවන්නන්ට මන්දගාමී පන්දු, නකල් පන්දු යැවීමට ඉගෙන ගැනීමට අනිවාර්යයෙන්ම සිදු වෙනවා. විස්සයි විස්ස ක්‍රිකට් අරම්භ වෙනකොට හැමදෙනාම සිතුවේ දඟපන්දු යවන්නන් හමුවේ හතරේ පහර සහ හයේ පහරවල් ලබා ගන්න පහසුයි කියලා. නමුත්, දැන් අරගෙන බැලුවහම දඟපන්දු යවන්නන් තමයි මෙහි ගොඩක් ආධිපත්‍යය දරන්නේ”, යැයි මුරලි දඟපන්දු යවන්නන් පිළිබඳව සිය මතය පවසා සිටියා.

2021 ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 අදියර හෙට (23) ආරම්භ වීමට නියමිත අතර ඕනෑම දිනක ඕනෑම කණ්ඩායමකට මේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ හැකි බව මුරලිදරන් විශ්වාස කරනවා.

එම නිසා ඔහු සිතන්නේ ශ්‍රී ලංකාවට ද මේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා අවස්ථාවක් තිබෙන බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සමඟ පළමු කාණ්ඩය යටතේ  ක්‍රීඩා කොට පිළිමළුන් පිටුදැකීමේ තරග අදියර කරා යාමට සෑම කණ්ඩායමකටම ලොකු උත්සාහයක් දරන්න වෙනවා.

“විස්සයි විස්ස ක්‍රිකට්වල දී ඕනෑම කණ්ඩායමකට ජයග්‍රහණය කරන්න පුළුවන්. කුමන කණ්ඩායම ජයග්‍රහණය කරයි ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. 96 ලෝක කුසලානය අපි ජයග්‍රහණය කරයි කියලා ගොඩ දෙනෙක් හිතුවේ නැහැ, නමුත් අපි එය අවසානයේ දී ජයග්‍රහණය කළා.

මම එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළා, අපි අවසන් මහා තරගයට පැමිණෙයි  කියලා පිට විශ්වාසයක් තිබුණේ නැහැ. හැබැයි අපි හැම තරගයක දී ම අපේ උපරිමය ක්‍රීඩා කළා රට වෙනුවෙන්.

නමුත් අපි ක්‍රීඩාවෙන් පැරදුණේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ඉතාමත් අවිනිශ්චිත ක්‍රීඩාවක්. විශේෂයෙන් විස්සයි විස්ස තරග රටාව ඒකට ගොඩක් හොඳ උදාහරණයක්. ශ්‍රී ලංකාව කියන්නේ කරන්න බැහැ කියලා ගොඩක් කියපු ගොඩක් දේවල් ලෝකෙට කරලා පෙන්නපු රටක්”, යැයි මුරලි අවසන් ලෙස පැවසුවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<