ශ්‍රී ලංකාව පළමු වටය අපරාජිතව අවසන් කරන්නට සැරසේ

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

246

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදිනු ලබන තෙවැනි විස්සයි විස්ස තරගය සහ පළමු වටයේ අවසන් තරගය හෙට (22) Sharjah හිදී පැවැත්වෙනවා.

නැමීබියාවට එරෙහිව පැවති තරගය කඩුලු 7කින් සහ අයර්ලන්තයට එරෙහිව පැවති තරගය ලකුණු 70කින් ජය ගත් ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම සුපිරි 12 වටයේ සිය අසුන වෙන් කරගැනීමට සමත් වුනේ ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ප්‍රසාද ලකුණු සටහනේ සටහන් කරගෙනයි.

ඒ අනුව ශ්‍රී ලංකාව බොහෝ දුරට A1 කණ්ඩායම ලෙස සුපිරි 12 වටයේ සිය තරග සඳහා මුහුණ දෙනු ඇත.

 නෙදර්ලන්තය දැනට ඔවුන් මුහුණ දී තිබෙන තරග දෙකම පරාජයට පත්ව දැනටමත් තරගාවලියෙන් ඉවතට ගොස් සිටින කණ්ඩායමක්. ඔවුන් අයර්ලන්තය හමුවේ සහ නැමීබියාව හමුවේ ඉතාමත් දුර්වල ලෙස එම තරග දෙකම පරාජයට පත් වුනේ ඔවුන්ගේ පිතිකරණයේ තිබුණු වැඩි අඩුපාඩු නිසයි.

2014 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය මින් පෙර මුණගැසී තිබෙන අතර එම තරගයේ දී නෙදර්ලන්තය ලකුණු 39කට දැවී ගියේ ලෝක කුසලාන ක්‍රිකට් තරගයක කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණය ලබාගෙනයි.

එම තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර මෙවර ශ්‍රී ලංකා සංචිතයේ සිටින්නේ කුසල් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් පමණයි. තවද එම තරගයේ දී නුවන් කුලසේකර ක්‍රියාත්මක කළ පන්දු 12ට එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට නෙදර්ලන්තයට හැකියාවක් ලැබුණේ නැහැ. එය අදටත් ලෝක ක්‍රිකට් පොත්වල ලෝක වාර්තාවක් ලෙස සටහන් වෙනවා.

වැඩි අවධානයට

ශ්‍රී ලංකා මුල්පෙළ ලකුණු නියඟය තවමත් විසඳුම් නොමැති ගැටලුවක් බවට පවත්ව තිබෙනවා. එය ඉක්මනින් නිවැරදි කර ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේ දී පැවැත්වෙන සුපිරි 12 වටයේ දී එය විශාල ගැටලුවක් වනු නිසැකයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය ඉතාමත් හොඳ දස්කම් දක්වමින් හොඳ රිද්මයක සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන හොඳම ධනාත්මක පැතිකඩයි.

නෙදර්ලන්තය දෙස අවධානය යොමු කිරීමේ දී දකුණතින් පිතිකරණයේ නිරත වන Max O’Dowd ඉතාමත් හොඳින් ලකුණු අතරට සිටිනවා.

කණ්ඩායම් සංයුතිය

පළමු තරග දෙක ක්‍රීඩා කළ අබුඩාබි ක්‍රීඩාංගණයේ තණතීරුව සහ Sharjah හි තණතීරුව වෙනස් ස්වභාවයක් ගනිමින් තරමක් දඟපන්දු යවන්නන්ට උචිත වනු ඇතැයි විශ්වාස පළ කරනවා.

ඒ නිසා, එම ස්ථානයට ධනංජය ද සිල්වා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන්නේ ඔහුට පිට දඟපන්දු යවන්නෙක් ලෙසත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීමේ හැකියාව තිබීම නිසයි. කෙසේ නමුත් චරිත් අසලංක ද එම ස්ථානය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන නමුත් ඔවුන් දෙදෙනාගෙන් අත්දැකීම් වැඩිම ක්‍රීඩකයා වන්නේ ධනංජය ද සිල්වායි.

Pieter Seelarගේ නායකත්වයෙන් යුත් නෙදර්ලන්තය වෙනුවෙන් Ben Cooper නැවතත් කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට වැඩි ඉඩක් තිබෙනවා. තවද නෙදර්ලන්තය දැනටමත් තරගාවලියෙන් ඉවත්ව සිටින නිසා ඔවුන් යම් විටෙක වෙනස්කම් කිහිපයක් සිදු කරමින් යම් අත්දැකීමක් ක්‍රීඩකයින්ට ලබා දීමට කටයුතු සූදානම් කරනු ඇත.

තීරණාත්මක ක්‍රීඩකයින්

ශ්‍රී ලංකා මුල්පෙළ සාර්ථක වීම සඳහා කුසල් පෙරේරා සාධකය ලකුණු අතරට පිවිසීම ඉතාමත් වැදගත් වෙනවා. පන්දු යවන්නන් දෙස සලකා බැලීමේ දී දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින් ඉතාමත් හොඳ දස්කම් අතරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වීමට හැකියි.

Max O’Dowd පළමු වටයේ තරග දෙකේ දී ම අර්ධ ශතක ලබාගෙන ඉතාමත් හොඳ රිද්මයක සිටින අතර ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ද ලකුණු අතරට පිවිසීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසාවෙන් ඔහුගේ කඩුල්ල හැකි ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකාවට වඩා වාසිදායක වනු නිසැකයි.

එසේම නෙදර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Fred Klassen ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි අභියෝගයක් දිය හැකි පන්දු යවන්නෙක් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ අපේක්ෂිත කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව: කුසල් පෙරේරා (wk), පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් , අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (C), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර
  • නෙදර්ලන්තය: Max O’Dowd, Ben Cooper , Bas de Leede, Colin Ackermann, Ryan ten Doeschate, Scott Edwards (wk), Roelof van der Merwe, Pieter Seelaar (c), Logan van Beek, Fred Klaassen, Brandon Glover

තණතීරුව සහ එහි ස්වභාවය

Sharjah තණතීරුව දඟපන්දු යවන්නන් වෙත වැඩි හිතකර බවක් පෙන්නුම් කළත්, මේ ක්‍රීඩාංගණයේ 4 සීමා අනෙක් ක්‍රීඩාංගණ  සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වෙනවා.

ලකුණු 140-160ක ප්‍රමාණයක් මෙවැනි තණතීරුවක් මත හොඳ අභියෝගයක් ලබා දිය හැකි ලකුණු පුවරුවක් වන අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලඇණිය ද මේ වන විට ඉතාමත් හොඳ රිද්මයක සිටිනවා.

කාලගුණය දෙස අවධානය යොමු කිරීමේ දී වර්ෂාවෙන් කිසිදු බලපෑමක් එල්ල වීමට නොහැකි වුනත්, ඒ අවට දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට පුළුවන්.

එසේම රාත්‍රි කාලයේ දී පින්න පතිත වීමට වැඩි ඉඩක් තිබෙන නිසා කාසියේ වාසිය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම පළමුව පන්දු යැවීමට වැඩි ඉඩක් තිබෙනවා. නමුත් පළමුව පන්දුවට පහර දෙන්නේ නම් ඉතාමත් හොඳ ලකුණු ප්‍රමාණයක් වෙත යාම අනිවාර්ය වන්නේ දෙවනුව පන්දු යැවීම තරමක් අපහසු වන නිසයි.

හෙට (22) රාත්‍රි 7.30ට ආරම්භ වන ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<