ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩකයන් තේරීම ගැන මහේල ප්‍රශ්න කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

585
Mahela questions player selection

ලංකා ප්‍රිමියර් ලීග් (Lanka Premier League) තරගාවලියේ දෙවැනි අදියර සඳහා වන ක්‍රීඩක ලැයිස්තුගත කිරීම පසුගිය දා පැවැත්වුනා.

මෙම ක්‍රීඩක ලැයිස්තුගත කිරීම සඳහා තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් පහේ නියෝජිතයන්, පුහුණුකරුවන් සහ නායකයින් එක්ව සිටියා. මෙවර තරගාවලිය සඳහා නවක දෙස් විදෙස් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටින අතර පසුගිය කාලය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ සහ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කීපදෙනෙකුටම ඔවුන්ගේ ස්ථාන අහිමි වීම ද බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා.

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා නායක සහ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම පිළිබඳව ප්‍රශ්න කර සිටියා.

මහේල ජයවර්ධන මේ පිළිබඳව සිය නිල Twitter ගිණුමේ සටහනක් තබා තිබුණා.

ඊයේ (9) සවස පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක ලැයිස්තුගත කිරීමේ දී ඉතා වැදගත් තෝරා ගැනීම් සහ තෝරා නොගැනීම් කීපයක් දැක්කා. එක අඩියක් ඉස්සරහට ගිහින් අඩි 5ක් ආපස්සට ආවම රටක් දියුණු කරන්න අමාරුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙය සැබෑ දක්ෂතා වර්ධනය කර ගැනීමට පවත්වන දේශීය තරගාවලියක් බව අමතක නොකළ යුතුයි. මහේල එහි දී පවසා සිටියා.

ඊයේ පැවති මෙම ක්‍රීඩක ලැයිස්තුගත කිරීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ සහ ප්‍රබල ක්‍රීඩකයන් කීපදෙනෙකු අවසන් සංචිතවලින් ඉවත් කිරීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන කුසල් ජනිත් පෙරේරා, වත්මන් විස්සයි විස්ස කණ්ඩායමේ උපනායක ධනංජය ද සිල්වා මෙන්ම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් හට ද තරගාවලිය අහිමි වීම විශේෂත්වයක්.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සහ පසුගිය කාලය තුල දේශීය සහ විදේශීය තරගාවලි තුළ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ මිනෝද් භානුක, සඳුන් වීරක්කොඩි, සධීර සමරවික්‍රම ද මෙම ලැයිස්තුගත කිරීමට ඇතුළත් වුනේ නැහැ.

දඟපන්දු යවන ක්‍රීඩකයන් වන අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම, වේගපන්දු යවන්නන් වන විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ශිරාන් ප්‍රනාන්දු මෙන්ම පිතිකරුවන් වන ඕෂද ප්‍රනාන්දු සහ සහන් ආරච්චිගේ යන ක්‍රීඩකයන් කිසිදු කණ්ඩායමක් විසින් එක්කර නොගැනීම කැපීපෙනුණා.

කණ්ඩායම් පහක් සහභාගි වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 5 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ දී සහ හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<