ලෝක කුසලානෙට ගිය 4ක් ‘ශ්‍රී ලංකා A’ කණ්ඩායමට

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

952

සංචාරයක පාකිස්තානු ‘A’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් සිව්දෙනෙකු ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, පුලින තරංග සහ ශිරාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට එක්වී සිටින ක්‍රීඩකයින් වනවා.

ලබන 10 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන මෙම තරගාවලිය සඳහා නම් කරන ලද 19 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මෙහෙය වීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට පැවරී තිබෙනවා.

ඉදිරිපෙළ පිතිකරුවෙකු මෙන්ම දෙඅතින්ම පන්දු යැවීමට හැකියාව ඇති කමිඳු නායකත්වය දරන එක්දින කණ්ඩායමට සිව්දින තරගාවලියේ නායකයා ලෙස කටයුතු කරන ලද සදීර සමරවික්‍රම ද ඇතුළත්ව සිටිනවා.

ඕමාන් තරගාවලිය සහ ඊට පසුව පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද මූලික සංචිතයට අනුව කමිඳු මුල් ක්‍රීඩකයින් 15 දෙනා අතරට ඇතුළත්ව සිටි නමුත් අවසන් මොහොතේ දී ඔහු අතිරේක ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක් කෙරුණා.

කෙසේ වෙතත් අනෙකුත් ක්‍රීඩකයින් වන පුලින තරංග සහ අශේන් බණ්ඩාර සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස ද, මූලික සංචිතයට ඇතුළත්ව සිටි නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීම නිසා තරගාවලිය අතරතුර දී ශිරාන් ප්‍රනාන්දුට ශ්‍රී ලංකා පිලට කැඳවුම් ලැබුණා.

ඔවුන් සිව්දෙනා කණ්ඩායමට එකතු වන විට සිව්දින තරගාවලියට ඇතුළත් වූ ක්‍රීඩකයින් 7 දෙනෙකු එම කණ්ඩායමෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ටෙස්ට් වරම් දිනා සිටින අංක 03 පිතිකරු ඕෂද ප්‍රනාන්දු, දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සහ වේගපන්දු යවන්නන් වන විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු ද ඒ අතර වෙනවා.

ඔවුන්ට අමතරව සිව්දින තරගාවලියේ තරග 2 දෙවැනි ඉනිමේ දී ලකුණු 98 බැගින් රැස් කිරීමට සමත් වූ ආරම්භක පිතිකරු කමිල් මිශාර ද සිටිනවා. මිශාර හැරුණු විට එම තරග නියෝජනය කළ දඟපන්දු යවන සුමින්ද ලක්ෂාන් සහ මද වේගපන්දු යවන චාමික ගුණසේකර ද එම කණ්ඩායමෙන් නිදහස් කරන ලද ක්‍රීඩකයන් අතර වෙනවා.

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම – කමිඳු මෙන්ඩිස් (නායක), පුලින තරංග, අෂේන් බණ්ඩාර, ශිරාන් ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, නිශාන් මදුශ්ක, ළහිරු උදාර, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, ශම්මු අශාන්, ලසිත් අබේරත්න, කලන පෙරේරා, මොහොමඩ් ශිරාස්, හිමේෂ් රාමනායක, අෂේන් ඩැනියෙල්, දුවිඳු තිලකරත්න, ළහිරු සමරකෝන්.

කණ්ඩායමට ඇතුළත් – කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, පුලින තරංග, ශිරාන් ප්‍රනාන්දු.

කණ්ඩායමෙන් නිදහස් – ඕෂද ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, කමිල් මිශාර, සුමින්ද ලක්ෂාන්, චාමික ගුණසේකර.

තරග කාලසටහන

නොවැම්බර් 10 – පළමු නිල නොවන තරගය

නොවැම්බර් 12 – දෙවැනි නිල නොවන තරගය

නොවැම්බර් 15 – තෙවැනි නිල නොවන තරගය

*තරග සියල්ලම දඹුල්ලේ දී පැවැත්වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<