“ආබාධවලට ඉඩකඩ වැඩි; නමුත් මෙය වෙනස්ම අත්දැකීමක් වේවි”

1098

කොරෝනා වසංගතය නිසාවෙන් නවතා දැමූ ක්‍රිකට් ක්‍රීඩා කටයුතු නැවත ඇරඹීමේ දී ප්‍රේක්ෂකයන් රහිත ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීම ක්‍රීඩකයන්ට නව අත්දැකීමක් වනු ඇති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වන මහේල ජයවර්ධන පසුගිය දා ප්‍රකාශ කරන ලදි.

රංජි කුසලානයේ හොඳම පන්දු යවන්නා දිවි ගමනින් සමුගනී

ලබන මාසයේ දී ආරම්භ කිරීමට නියමිතව ඇති එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් තරගාවලිය පිළිබඳව “Sony Network’s” හී “Pit Stop” නම් වැඩසටහනට සහභාගී වෙමින් අදහස් දක්වා සිටි මහේල ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන් හට නව වෙනස්කම්වලට හුරු වීමට යම් කලක් ගතවෙනු ඇති බවයි.

“ක්‍රීඩකයන්ට තම කුසලතාවයන්ට සහ ඔවුන්ගේ රිද්මයට අනුගත වීමට කෙටි කලක් ගත වනු ඇත. සජීවී ක්‍රීඩා තරග සඳහා මේ වන විට සියලු දෙනාම බලාපොරොත්තුවෙන් පසුවන නමුත් ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම පහසු දෙයක් නෙවෙයි. එය බොහෝ විට එංගලන්තය තුල කාලගුණයේ හැසිරීම මත රඳා පවතී.

හිස් ක්‍රීඩාංගණය තුළ ක්‍රීඩා කිරීමේ දී ක්‍රීඩකයන් එයට ප්‍රතිචාර දක්වන ආකාරය සිත්ගන්නා සුළු වනු ඇත. එය බොහෝ වෙනස් දෙයක් වූවත් කිසිවක් නැතිව සිටිනවාට වඩා හොඳ වෙයි. ක්‍රීඩකයන්ට එය තුළින් අලුත් දේවල් ඉගෙන ගැනීමට පුළුවන්.

නමුත් ක්‍රීඩකයන් බොහෝ කාලයකින් ක්‍රීඩා කර නැහැ. එම නිසාවෙන් නැවත පිටියේ ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ව ආබාධයන්ට ගොදුරු වෙන්න ඉඩකඩ වැඩියි. ඒත් මේක හොඳ අවස්ථාවක්, ක්‍රීඩකයන් සියල්ල කළමනාකරණය කරගන්න ඕන. බොහෝ විට සෑම දෙයක්ම ඔබ කණ්ඩායමක් ලෙස සිදු කරන වැඩ කොටස මත රඳා පවතියි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

1997 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ මහේල ජයවර්ධන මෙරට බිහි වූ සාර්ථකම ක්‍රිකට් නායකයෙකු ලෙස ද සැලකේ. 2015 වසරේ ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළ ඔහු 2017 වසරේ සිට ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රකට කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටී.

ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වයිරස තත්වය නිසාවෙන් නතර කෙරුණු ක්‍රිකට් පුහුණුවීම් කටයුතු ආදිය මේ වන විට ආරම්භ කර ඇති අතර ක්‍රිකට් තරග නැවත අරඹමින් පැවැත්වීමට නියමිත මුල්ම ක්‍රිකට් තරගය වන එංගලන්තය කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර ටෙස්ට් තරගය ලබන මස (ජූලි) 08 වැනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානමින් පවතී.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<