මහීෂ්ට බංග්ලාදේශ තරගය අහිමි වන ලකුණු

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

180
Maheesh Theekshana

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හට හෙට (24) පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තරගය අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය හෙට බංග්ලාදේශය සමඟින් සාජා හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලිය තුල වැඩිම කඩුලු ලාභියා වන අතර ඔහු මූලික වටයේ තරග තුනේ දී කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනා.

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය ඊයේ නෙදර්ලන්තය සමඟින් පැවති අතර එහි දී මහීෂ් හට මස්පිඬු වේදනාවක් ඇතිවී තිබුණා. ඔහු එම තරගයේ දී එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කර තිබූ අතර එහි දී කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

එම පන්දුවාරය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඔහු පිටියෙන් ඉවත් වූ අතර නැවත පන්දු යැවීමට හෝ පන්දු රැකීමට පැමිණ තිබුණේ නැහැ. තරගයෙන් අනතුරුව ඔහු තරමක් සුවය ලබා සිටිය ද, ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරුන් සහ භෞතචිකිත්සකවරුන් පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මහීෂ් තීක්ෂණ දින කීපයක් විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා. මේ නිසා ඔහුට හෙට පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තරගය අහිමි වනවා.

කණ්ඩායමේ භෞතචිකිත්සකවරුන් කිව්වා ඔහු ඊළඟ තරගයට එක් නොකරන්න තීරණය කළා කියලා. අපිට ඔහුගේ තත්ත්වය එක්ක අවදානමක් ගන්න ඕනේ නැහැ. ඔහු එක් තරගයක් ක්‍රීඩා කරලා තරගාවලියම ක්‍රීඩා නොකරන අවදානම ගන්න බැහැ.

මේ වෙද්දී අපිට වාර්තා වෙන්නේ ඔහු මීළඟ තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ කියලා. ඒක 100%ක් තහවුරු කරලා නැහැ. නමුත් ලොකු අවස්ථාවක් තියනවා ඔහු පළමු තරගය ක්‍රීඩා නොකරන්න. සෙසු තරගවලට ඔහු ක්‍රීඩා කරාවි”, ඊයේ තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂ පවසා සිටියා.

මහීෂ් තීක්ෂණ හට හෙට තරගය අහිමිවුවහොත් එම ස්ථානය සඳහා දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය යොදාගැනීමට වැඩි ඉඩක් පවතිනවා. ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග තුනේ දී ශ්‍රී ලංකා පන්දු බලඇණියට කිසිදු වෙනසක් සිදු නොවූ අතර ඔවුන් ප්‍රතිවාදීන් නැමීබියාව ලකුණු 96කටත්, අයර්ලන්තය ලකුණු 101කටත්, නෙදර්ලන්තය ලකුණු 44කටත් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

හෙට තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද මහීෂ් තීක්ෂණගේ ආබාධය පිළිබඳව අදහස් දක්වා සිටියා.

මම හිතන්නේ නැහැ ඔහුගේ මෙම ආබාධය ගොඩක් කල් තියේවි කියලා. ඒත් ඔහුට හෙට තරගය අහිමි වේවි. අපි අපේ උපරිමය කරනවා ඔහු නැවතත් යෝග්‍යතාවයට ගේන්න”, ශානක එහි දී පවසා සිටියා.

සුදුසුකම් ලැබීමේ වටයේ පෙරමුණ ගනිමින් සුපිරි 12 වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී A කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතයි. එම කාණ්ඩය සඳහා බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඇතුළත් වනවා.

සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන

  • බංග්ලාදේශය – ඔක්තෝබර් 24 වැනිදා සාජා හිදී – ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 30
  • ඕස්ට්‍රේලියාව – ඔක්තෝබර් 28 වැනිදා ඩුබායි හිදී – ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 30
  • දකුණු අප්‍රිකාව – ඔක්තෝබර් 30 වැනිදා සාජා හිදී – ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 30
  • එංගලන්තය – නොවැම්බර් 1 වැනිදා සාජා හිදී – ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 30
  • බටහිර ඉන්දීය කොදෙව් – නොවැම්බර් 4 වැනිදා අබුඩාබි හිදී – ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 30

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<