වෙළඳසේවා දැල්පන්දු තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ ‘A’ කාණ්ඩයේ අවසන් තරගය හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සහ එක්ස්පෝ ලංකා ආයතන කණ්ඩායම අතර මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති අතර තරගයේ දෙවන අර්ධයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේ දී පහර කයි

10 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ලකුණු 58-32ක් වශයෙන්..

අර්ධ අවසන් තරගයේ දී තරගයකින් තොරව හැටන් නැෂනල් බැංකු කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර අනෙක් පසින් පසුගිය වසරේ ‘B’ කාණ්ඩයේ ශූරතාවය දිනා ගෙන මෙවර ‘A’ කාණ්ඩය දක්වා උසස් කෙරුණු එක්ස්පෝ ලංකා ආයතන කණ්ඩායම අර්ධ අවසන් තරගයේ දී සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු 42-32ක් ලෙස පරාජයට පත් කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීය.

හැටන් නැෂනල් බැංකු කණ්ඩායම තුළ ජාතික කණ්ඩායම නියෝජනය කළ හා වර්තමානයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම ක්‍රීඩා කළත් තරගයේ පළමු කාර්තුවේ දී එක්ස්පෝ ලංකා ක්‍රීඩිකාවන් ඔවුන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාව වන ෂෙරීන් නුගේරාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ එක්ස්පෝ ලංකා කණ්ඩායම පළමු කාර්තුව තුළ දී ඔවුන්ගේ පසුපෙළ ශක්තිමත් කරමින් ක්‍රීඩා කළ අතර එම කාර්තුව නිමාවට පත්වූයේ ලකුණු 10-09ක් ලෙස එක් ලකුණකින් පමණක් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම තරගයේ පෙරමුණ ගනිමිනි.

දෙවන කාර්තුවේ දී හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවන් එක්ස්පෝ ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. එම කාර්තුව නිමාවට පත්වූයේ ලකුණු 22-17ක් ලෙස හැටන් නැෂනල් බැංකු කණ්ඩායම තවදුරටත් තරගයේ පෙරමුණේ සිටිමිනි.

තරගයේ තෙවන හා සිව්වන කාර්තුවල දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායිකා සශිකා සමරසිංහගේ නායකත්වයෙන් යුත් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම නැවතත් සිය සුපුරුදු ක්‍රීඩා රිද්මයට පැමිණීමට සමත් විය. තරගයේ තෙවන කාර්තුව නිමාවූයේ ලකුණු 35-21ක් ලෙස හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ලකුණු පරතරය වැඩි දියුණු කර ගනිමිනි. ඒ අනුව ඔවුන් එම කාර්තුව තුළ ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 4ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායිකාව වන ගයනි දිසානායක සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක් වන කුමාරිනී සිල්වා හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ පසුපෙළ ශක්තිමත් කරමින් ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් එල්ල කරන්නට සමත් විය.

තරගයේ සිව්වන කාර්තුවේ දී හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන තවත් ක්‍රීඩිකාවක් වන දර්ශිකා අබේවික්‍රම ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ අතර එම අර්ධයේ දී ඔවුන් ලකුණු 18ක් රැස්කර ගනිද්දී ප්‍රතිවාදී එක්ස්පෝ ලංකා කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ ලකුණු 9ක් පමණි. ඒ අනුව තරගය නිමාවට පත්වූයේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් ලකුණු 53-30ක් ලෙස එක්ස්පෝ ලංකා කණ්ඩායම පරාජයට පත්කරමිනි.

අනෙක් තරග ප්‍රතිඵල

තරගාවලියේ ‘B’ කාණ්ඩයේ ශූරතාවය එම කාණ්ඩයේ අවසන් තරගයේ දී සම්පත් බැංකු කණ්ඩායම ලකුණු 36-23ක් ලෙස පරාජයට පත්කළ CDB බැංකු කණ්ඩායම විසින් දිනා ගත් අතර ‘C’ කාණ්ඩයේ ශූරතාවය MAS ඇක්ටිව් ට්‍රේඩින් ආයතනය ලකුණු 23-03ක් ලෙස පරාජයට පත්කළ කැන්රිච් ෆිනෑන්ස් ආයතනය විසින් දිනා ගන්නා ලදි.

‘D’ කාණ්ඩයේ අවසන් තරගයේ දී MAS ෂේඩ්ලයින් කණ්ඩායම විසින් ලකුණු 12-09ක් ලෙස කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පරාජයට පත්කළ අතර CDB කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූ සම්පත් බැංකු කණ්ඩායම සෙලාන් බැංකු කණ්ඩායම හමුවේ ලකුණු 18-10ක් ලෙස මිශ්‍ර කාණ්ඩයේ අවසන් තරගයේ දී පරාජයට පත්විය.

සම්මාන

  • දැල්පන්දු රැජිණ – කුමාරිනී සිල්වා (HNB)
  • හොඳම නැගී එන ක්‍රීඩිකාව – චතුකි ඉමල්කා (MAS Shadeline)
  • හොඳම මැදපෙළ ක්‍රීඩිකාව – ගයාන්ජලී අමරවංස (HNB)
  • හොඳම පසුපෙළ ක්‍රීඩිකාව – ෂෙරීන් නුගේරා (Expo Lanka)
  • හොඳම ඉදිරිපෙළ ක්‍රීඩිකාව – ටී. අබිතා (CDB)
  • හොඳම කණ්ඩායම් හැඟීම සහිත කණ්ඩායම – කොමර්ෂල් ක්‍රෙඩිට්
  • හොඳම නිළ ඇඳුම සහිත කණ්ඩායම – MAS ඇක්ටිව් ට්‍රේඩින්

  තවත් පුවත් සඳහා පිවිසෙන්න  මුල් පිටුවට