ජාතික දැල් පන්දු පුහුණුකාරිණිය මේ මස අවසානයට පෙර

135

හිස්‌ව තිබෙන ජාතික දැල්පන්දු පුහුණුකරු තනතුර සඳහා සුදුස්‌සකු පත්කර ගැනීම තවත් ප්‍රමාද නොකරන බවත් මෙම මස අවසන් වීමට පෙර ජාතික පුහුණුකාරිණිය තෝරා ගන්නා බවත් දැල්පන්දු සභාපතිනි යසා රාමචන්ද්‍ර මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය.

වසරක පමණ කාලයක සිට විවිධ පාර්ශවවල කඹ ඇදිල්ල හේතුවෙන් ජාතික දැල්පන්දු පුහුණුකාර තනතුර හිස්‌ව තිබුණි. දැල්පන්දු අතුරු කමිටුව විසුරුවා නිලවරණයක්‌ පැවැත්වීමෙන් පසුව එහි සභාපති ධුරයට පත්වූ යසා රාමචන්ද්‍ර මහත්මිය ඒ සඳහා කඩිනමින් විසඳුමක්‌ සොයන බව ‘දිවයින’ ට පැවසුවාය.

”අපි අද (07 දා) තීරණය කළා ජාතික දැල්පන්දු පුහුණුකාර තනතුරට සුදුස්‌සකු සොයා ගන්න සම්මුඛ පරීක්‍ෂණ කැඳවන්න. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස්‌ කරල ඉදිරි දින දෙක තුන තුළදී අදාළ අංශවලට ලැබෙන්න සලස්‌වනවා. කොහොම වුණත් ලබන 14 වැනිදාට පෙර ජාතික දැල්පන්දු පුහුණුකරු තනතුර සඳහා එවන නාම යෝජනා පමණක්‌ භාර ගන්නවා. ඊට පසුව අපි මේ මස අවසානයට පෙර ජාතික පුහුණුකාරිණිය සහ සහය පුහුණුකාරිණිය තෝරා ගන්නවා. සමහරු ප්‍රකාශ කරනවා ජාතික දැල්පන්දු පුහුණුකරු තෝරාගෙන කියලා. කිසිම විටෙක එහෙම දෙයක්‌ වෙලා නැහැ.” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

ලබන අගෝස්‌තු මස ඔස්‌ටේ්‍රලියාවේ පැවැත්වෙන දැල්පන්දු ලෝක ශූරතාව සඳහා 30 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක්‌ මේ වන විට නම් කර තිබේ. එම සංචිතය ඉදිරි සතිය අවසන් වන විට 20 දක්‌වා අඩුකරන බවත් අනතුරුව 15 දෙනකු තෝරාගෙන ඉන් හොඳම 12 දෙනා මේ මස අවසන් වීමට පෙර තෝරා ගන්නා බවද දැල්පන්දු සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.