ඩෑන් කාටර් – මෙතෙක් ලොව බිහි වූ හොඳම අංක 10 ක්‍රීඩකයාගේ කතාව

2035

ඩෑන් කාටර්ගේ ජීවිත කතාව ඇතුළත් ප්‍රලේඛන චිත්‍රපටයේ අවස්ථා කීපයක වීඩියෝවක් පසුගිය දා එළිදැක්වුනා. ඩැනියල් විලියම් කාටර් හෙවත් ඩෑන් කාටර් නවසීලන්තය නිෂ්පාදනය කළ ප්‍රබලතම රග්බි ක්‍රීඩකයා ලෙස සැලකිය හැක. 

ජොනාහ් ලෝමු, රිචී මැකෝ, ටනා උමාගා, කාලෝස් ස්පෙන්සර් වැනි ප්‍රබල නම් අතර ඩෑන් කාටර් යන නම ද ඉදිරියෙන්ම සටහන් වේ. 1982 වසරේ මාර්තු මස 5 වැනිදා නවසීලන්තයේ කැන්ටබරි හිදී උපත ලබන ඩෑන් 2002 වසරේ කැන්ටබරි රග්බි කණ්ඩායම නියෝජනය කරමින් රග්බි ක්‍රීඩාවට පිවිසියේය.

ඕස්ට්‍රේලියාවෙන් නවසීලන්තයට අමතක නොවන පාඩමක්

2019 රග්බි ශූරතාවලියේ තීරණාත්මක අවසන් සතියේ පළමු තරගය අද…..

ඔහුගේ ජාත්‍යන්තර රග්බි ගමන ඇරඹෙන්නේ 2003 වසරේ සුපර් රග්බි තරගාවලියේ කෘසේඩර්ස් (Crusaders) කණ්ඩායමට එක්වීමත් සමඟිනි. එම වසරේ දී ම නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනා ගන්නා කාටර් තම පළමු තරගයේ දී ම වේල්සයට එරෙහිව ලකුණු 20ක් ලබා ගනිමින් දැවැන්ත ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුගේ පෙරනිමිති පහල කිරීමට සමත් විය.

ඉන්පසු අවස්ථා කීපයක දී ම නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් ‍රග්බි තරග ක්‍රීඩා කිරීමේ වරම් දිනා ගන්නා කාටර් 2003 ලෝක රග්බි ලෝක කුසලානයේ සාමාජිකයෙකු වීමේ භාග්‍ය හිමකර ගැනීමට ද සමත් විය.

නමුත් එවකට කාටර් ක්‍රීඩා කරන අංක 10 ස්ථානයේ කාලෝස් ස්පෙන්සර් ක්‍රීඩා කිරීම නිසා කාටර්ට එතරම් අවස්ථාව හිමි වූයේ නැත. 2004 වසරේ දී ස්පෙන්සර්ගේ සමුගැනීමත් සමඟින් නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්වන කාටර් එම ස්ථානයට ගැලපෙනම ක්‍රීඩකයා තමන් බව තහවුරු කිරීමට සමත් වන්නේ 2005 වසරේ බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී උත්සාහක දිනුම් දෙකක්, දඬුවම් පහර පහක් හා ප්‍රවර්තනය හතරක් සමඟින් ලකුණු 33 ක් වාර්තා කරමිනි.

එම ලකුණු සංඛ්‍යාව ඒ වන විට නවසීලන්ත ක්‍රීඩකයෙකු විසින් එක් තරගයක දී වාර්තා කළ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව විය. කාටර්ගේ මෙම දක්ෂතාවය ‘ද ගාර්ඩියන්’ විසින් “වර්තමාන රග්බි ක්‍රීඩාවේ පරිසමාප්ත ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකුගේ තරග රටාවක්” ලෙස නම් කර තිබිණි.

නවසීලන්තය දෙවන වරට රග්බි ලෝක ශූරයන් විය

7වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය රටවල් 20ක සහභාගිත්වය ඇතිව……

2005 වසරේ දී අන්තර්ජාතික ‍රග්බි මණ්ඩලයේ (International Rugby Board – IRB) වසරේ රග්බි ක්‍රීඩකයා බවට පත්වීමට කාටර් සමත් වන්නේ එම භාග්‍ය ලද පළමු නවසීලන්ත ක්‍රීඩකයා බවට පත්වෙමිනි. 2010 වසරේ දී කාටර් ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් වන අතර ඒ එවකට වාර්තාව ලෙස ජොනී විල්කින්සන් තබා තිබූ ලකුණු 1178 අභිබවා යමිනි.

ක්‍රීඩාවෙන් සමුගන්නා විට කාටර් ජාත්‍යන්තර තරග 112කට ක්‍රීඩා කර ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 1598කි. එම ලකුණු 1598ට උත්සාහක දිනුම් 29ක්, දඬුවම් පහර 281ක්, ප්‍රවර්තන 293ක් හා ඩ්‍රොප් ගෝල 8ක් ඇතුලත්ව ඇත.

කාටර්ගේ මෙම දක්ෂතා ඔහු නවසීලන්තයේ වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට පත්කරන අතර ඒ වන විට ඔහුගේ වාර්ෂික ආදායම නවසීලන්ත ඩොලර් 750,000කි. එනම් රුපියල් 85,950,000කි.

2011 ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්ත නායකයා ලෙස කටයුතු කිරීමට ඩෑන් සූදානම් බව ඔක්තෝබර් මස 1 වැනිදා නිවේදනය කළ ද පුහුණුවීම් අතරතුර ඔහුගේ පාදයේ ඇති වන ආබාධයක් නිසාවෙන් කාටර්ට ලෝක කුසලාන තරගාවලිය හා නවසීලන්ත නායකයා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව මගහැරී ගියේ අවාසනාවන්ත අයුරිනි.

2012 වසරේ දී දෙවන වරටත් වසරේ ක්‍රීඩකයා බවට පත්වන කාටර් 2013 වසරේ දී නවසීලන්තය වෙනුවෙන් තරග 100ක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලද ක්‍රීඩකයන් 5 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් විය.

2015 වසරේ ලෝක කුසලාන අවසන් තරගයේ දී දඬුවම් පහර 4ක්, ප්‍රවර්තන 2ක් හා එක් ඩ්‍රොප් ගෝලයක් මගින් නවසීලන්ත ලකුණු පුවරුවේ ලකුණු 34න් ලකුණු 19කටම හිමිකම් කීමට කාටර් සමත් විය. ඔහුගේ මෙම දක්ෂතා ඔහුව අවසන් තරගයේ වීරයා බවට ද පත්කළේය. එම වසරේ දී ම ඕස්ට්‍රේලියාව සමඟින් පැවති Bledisloe Cup තරගයෙන් පසුව ජාත්‍යන්තර තරගවලට සමුදීමට කාටර් තීරණය කළේය.

කාටර්ගේ ජීවිත කතාව ඇතුළත් ප්‍රලේඛන චිත්‍රපටය නම්කර අත්තේ “ඩෑන් කාටර් – පරිපූර්ණ අංක 10” (Dan Carter – A Perfect 10) යනුවෙනි. එය මෙතෙක් ලොව බිහි වූ හොඳම අංක 10 ක්‍රීඩකයා පිළිබඳ කිසිවෙකුත් නොදන්නා පැතිකඩක් නිරූපණය කරන බව බොහෝ දෙනාගේ මතයයි.

මෙම චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වමින් කාටර්ගේ බිරිඳ වන හොනර් ඩිලොන් පවසා සිටියේ “මේ ප්‍රසිද්ධියට සමහර වෙලාවට අපිව අපහසුතාවයට පත්කළා” යනුවෙනුයි. කාටර් තම පියා සමඟ සෙල්ලම් කරන දර්ශන කීපයක් ඇතුළත් මෙම චිත්‍රපටය ඔහුගේ ආබාධ නිසාවෙන් ඔහු වටා ගොඩනැගුණු පීඩනය හා මානසික මට්ටම මැනවින් නිරූපණය වේ.

ජපානයේ රග්බි උණ උග්‍රවෙයි!

රග්බි ඉතිහාසයේ පළමු වරට ආසියානු මහද්වීපයේ රග්බි ලෝක කුසලාන……

මේ සඳහා කාටර්ගේ සමීපතමයන් කිපදෙනෙකු දායකත්වය දක්වා ඇති අතර ඒ සඳහා කාටර්ගේ බිරිඳ වන හොනර් කාටර්, රිචී මැකෝ, ජොනී විල්කින්සන්, බවුඩන් බැරට් හා කාටර්ගේ පවුලේ සාමාජිකයන් එක්ව ඇත. නවසීලන්තය, යුරෝපය හා ජපානය කේන්ද්‍ර කරගනිමින් මෙම චිත්‍රපටය රූගත කර ඇත.

තමාගේ ජීවිත කතාව ඇතුළත් මෙම චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වමින් කාටර් පවසා සිටියේ මෙමගින් තමන් 2015 රග්බි ලෝක කුසලානය දක්වා පැමිණි අසීරු ගමන්මග ලොවට කියනු ඇති බවයි.

“පසුගිය මාස 12ක කාලය තුල මම මේ සඳහා මහන්සි වුනා. ගොඩක් සතුටුයි ඒක ඔබලා සමඟින් බෙදා ගැනීමට ලැබීම. මගේ පෞද්ගලික ජීවිතය, රග්බි ජීවිතය වගේම මම 2015 ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා පැමිණි ගමන්මග මේ චිත්‍රපටයෙන් පෙන්වාවි” කාටර් පවසා සිටියා.

“මම ගොඩක් වාසනාවන්තයි මට ලැබුණු අවස්ථාවන් දිහා බලද්දී. මගේ ගමනේ යම් යම් අදුරු කාලයන් තිබුණා. මම හිතනවා මේක බලන ප්‍රේක්ෂකයන් යම් දෙයක් ජීවිතයට ගනීවි කියලා. ඔබ කොහේ ඉදන් ආවත්, ඔබ කෙතරම් බාධා මැදින් ආවත් ඔබට පුළුවන් ඔබේ අරමුණ කරා යන්න. ඒක තමයි මේකෙන් දෙන ලොකුම පණිවිඩය”

ඩෑන් කාටර්: පරිපූර්ණ අංක 10 ප්‍රලේඛන චිත්‍රපටය අගෝස්තු මස 29 වනදා නවසීලන්තයේ තිරගත වීම ආරම්භ වීමට නියමිතයි. ඉන්පසුව එය ලොව පුරා සිනමා ශාලා වෙත නිකුත් කරනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<