ජැමෙයිකානු ශූරිය ලොව දෙවැනි වේගවත්ම කාලයට

193

පසුගිය දා පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ ජැමෙයිකානු මලල ක්‍රීඩිකා Shelly-Ann Fraser-Pryce මීටර් 100 කාන්තා ඉසව්වේ ලොව වාර්තා වූ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් වුනා.

ජැමෙයිකාවේ දී පැවති එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.63ක කාලයකින් අවසන් කිරීමට ඇය සමත් වූ අතර එම කාලය දෙවැනි වූයේ ඇමරිකානු ක්‍රීඩිකා Griffith-Joyner 1988 වසරේ වාර්තා කළ කාලයට පමණි (තත් 10.49).

ඒ අනුව මෙම වසරේ වාර්තා වූ වේගවත්ම කාලය තමන් සතුකර ගැනීමට ද Shelly-Ann සමත් වූ අතර ඇය විසින් අභිබවා ගියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.72ක කාලයකින් අවසන් කරමින් ඇමරිකානු ක්‍රීඩිකා Sha’Carri Richardson පිහිටුවා තිබූ වසරේ වේගවත්ම කාලයයි.

එමෙන්ම මෙම කාලය ඇයගේ පෞද්ගලික හොඳම කාලය ලෙස ද සටහන් ව තිබූ අතර මීට පෙර ඇයගේ හොඳම කාලය වූයේ 2012 වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.70කින් අවසන් කරමින් පිහිටුවා තිබූ කාලයයි.

ලොව දෙවන වේගවත්ම කාලය වාර්තා කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් Shelly-Ann Fraser-Pryce ප්‍රකාශ කර සිටියේ, 

“ඇත්තෙන්ම නැහැ, මම කවදාවත්ම හිතුවේ නැහැ මට තත්පර 10.6 ඇතුළත කාලයකට යන්න පුළුවන් වෙයි කියලා. ඇත්තෙන්ම එහි හොඳම දේ වුනේ මට කිසිම පීඩනයක් තිබුණේ නැති එකයි. මට කියන්න වචන නැහැ, මොකද 10.6ක් කියන්නේ මගේ හීනයක් වගේම ඉලක්කයක්. මම ඒකට ගොඩක් මහන්සි වුනා, මට ඇත්තෙන්ම ගොඩක් සතුටුයි.”

තවත් ක්‍රීඩා පුවත්:

කෙටිදුර ධාවන පිටියේ බිහි වූ සුපිරිතම ක්‍රීඩිකාවක් වන Shelly-Ann Fraser-Pryce 2008 සහ 2012 ඔලිම්පික් උළෙලවල දී මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 2016 ඔලිම්පික් උළෙලේ දී අභියෝග රැසක් මැද එම ඉසව්වේ ලෝකඩ පදක්කම ඇය දිනා ගන්නට ද සමත් වුනා.

එයින් පසු මව් පදවියට පත්වීම නිසාවෙන් කෙටි කලක් පිටියෙන් ඉවත්ව සිටි Shelly-Ann නැවතත් ක්‍රීඩා පිටියට පැමිණීමෙන් පසු 2019 ලෝක ශූරතාවයේ දී මීටර් 100 ලෝක කිරුළ නැවතත් දිනා ගැනීමට සමත් වුනේ ලෝක ශූරතාවයක් දිනූ වයස්ගතම ක්‍රීඩිකාව මෙන්ම Gwen Torrence පසු එම දස්කම පෑ පළමු මව ලෙස ඉතිහාසගත වෙමින්.

මෙම දස්කමත් සමඟින් Shelly-Ann මෙම වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ දී කාන්තා මීටර් 100 ඉසව්ව ජය ගැනීමට විශාල ඉඩක් පවතින අතර 2022 ලෝක ශූරතාවයෙන් පසු ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට ඇය තීරණය කර ඇති නිසා මෙවර ඔලිම්පික් තරගාවලිය ඇයගේ අවසන් ඔලිම්පික් උළෙල වනු ඇත.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<