එක්දින සටනින් තර්ස්ටන් විද්‍යාලයට වාර්තා ගත ජයග්‍රහණයක්

1306
Isipathana v Thurstan

මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන සලකුණක් තබා ඇති පාසල් දෙකක් ලෙස හැඳින්විය හැකි කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර එක්දින ක්‍රිකට් තරගය අද (05) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ක්‍රියාත්මක විය.

රසාංජනගේ ශතකය නිසා සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

ක්‍රිකට් ලොව දිග්විජය කළ විශිෂ්ටයින් රැසකගේ පළමු රංග පීඨය බවට පත්වුනු සුලෝහිත සංග්‍රාමයේ 88වැනි පරිච්ඡේදය අද (05) කොළඹ SSC…

මීට දින කිහිපයකට පෙර විද්‍යාල දෙක අතර පැවති 54 වැනි සහෝදරයින්ගේ ටෙස්ට් ක්‍රිකට් සටනේ දී ජයග්‍රහණය ආසන්නයට පැමිණිය ද කාලය ඊට හරස් වීම නිසා බලාපොරොත්තු කඩ කර ගත් තර්ස්ටන් විද්‍යාලය අද දිනයේ දී තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට සමත් විය. ඒ ප්‍රතිවාදී ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 164ක වාර්තාගත ජයක් ලබා ගනිමිනි.

විද්‍යාල දෙක අතර 37 වැනි එක්දින ක්‍රිකට් සංග්‍රාමයට ආරම්භය තබමින් ඉහළ නැගුණු කාසිය තර්ස්ටන් විද්‍යාලයට ජය හිමිකර දෙමින් බිම පතිත වීමත් සමඟ විද්‍යාලීය නායක කසුන් අබේරත්නගේ ප්‍රථමයෙන් පිත්ත අතට ගැනීමට තීරණය කළේය. උදෑසන හිරු රැසින් නැහැවී තිබුණු පී සරා තණතීරුව පිතිකරණ පාරාදීසයක් බව බැලූ බැල්මටම කිව හැකි වීම ඔහුගේ මෙම තීරණයට ප්‍රබල සාධකයක් විය.

ඒ අනුව ඉනිම ඇරඹූ තර්ස්ටන් පිතිකරුවන් තණතීරුවේ සහයෝගයත් තමන්ගේ නිසඟ දක්ෂතාවයත් මනා ලෙස සංකලනය කර ගනිමින් ඉනිම ගොඩ නැගුවේ ඉසිපතන පන්දු යවන්නන්ට ජය මාවතට අවතීර්ණ විය හැකි සියලු මාර්ග අහුරා දමමිනි. තර්ස්ටන් පළමු කඩුල්ල ලෙස ලකුණු 40ක් ලබා සිටි කසුන් අබේරත්න දැවී ගිය අතර වමත් පිතිකරු ඉමේෂ් විරංග දක්ෂ ලෙස පිත්ත හසුරුවමින් ලකුණු 80ක හිමිකරුවා බවට පත්විය. ඔහුට නොදෙවෙනි ආකාරයෙන් පිතිකරණයේ යෙදුණු දකුණත් පිතිකරු යෙශාන් වික්‍රමාරච්චි ලකුණු 78කින් තර්ස්ටන් ලකුණු පුවරුව ඉහළ නැංවීම නිසා සමස්ත තරගය පුරාවට තම බල පරාක්‍රමය පැතිරවීමට ඒ වන විටත් තර්ස්ටන් විද්‍යාලය සමත්ව සිටියහ.

මේ අතරතුරේ දී ඉනිමේ අවසන් භාගයේ දී පිටියට පිවිසි තුන් ඉරියව් ක්‍රීඩක චරණ නානායක්කාර පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් තර්ස්ටන් විද්‍යාලයේ ලකුණු වේගය ඉහළ නැංවූයේ ඔවුන්ට නියමිත පන්දුවාර 50 තුල දී දැවැන්ත ලකුණු 367ක් කරා යාමට අවස්ථාව උදාකර දෙමිනි. මෙය විද්‍යාල දෙක අතර එක්දින ක්‍රිකට් වංශ කතාවේ කණ්ඩායමක් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට ඇතුළත් විය. මීට පෙර පැවති දෙදින ටෙස්ට් තරගයේ දී ද ඉසිපතන විද්‍යාලයට දැඩි හිසරදයක් බවට පත් වූ චරණ නානායක්කාර අද දිනයේ දී තම ඉනිම නිමා කළේ ලකුණු 83ක් තම ගිණුමට බැර කර ගනිමිනි. පන්දු යැවීමේ දී ඉසිපතන විද්‍යාලයේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ඩිල්ශාන් කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

[rev_slider dfcc728]
.

ප්‍රථම පන්දු වාරයේ සිටම ලකුණු 7කටත් වඩා වැඩි වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දීමට සිදු වූ කොළඹ ඉසිපතන විද්‍යාලය ආරම්භයේ සිටම වේගවත් පහරවල් කරා යොමුවන්නට උත්සාහ දැරුවත් දඟ පන්දු යවන ක්‍රීඩක සවන් ප්‍රභාෂ් ඇතුළු තර්ස්ටන් පන්දු යැවීමේ බල ඇණියට එරෙහිව එය එතරම් පහසු නොවීය. ඒ අනුව නිරන්තරයෙන් කඩුලු අහිමි කර ගත් ඉසිපතන විද්‍යාලයට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 203කින් සෑහීමකට පත්වන්නට සිදුවිය.

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වමත් පිතිකරු සංජුල අබේවික්‍රම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 72ක් රැස් කළේය. පැතුම් නිස්සංක ලකුණු 35යි. ඉසිපතන ඉනිම බිඳ දැමීමේ දී මූලිකත්වය ගත් සවන් ප්‍රභාෂ් කඩුලු 3ක හිමිකරුවා බවට පත් වෙද්දී පිත්තෙන් සුපිරි දක්ෂතා දැක්වූ චරණ නානායක්කාර පන්දුවෙන් ද කඩුලු 2ක් බිඳ හෙළන්නට සමත් විය. ඒ අනුව විද්‍යාල දෙක අතර පැවති 37වැනි සහෝදරයින්ගේ සටනඅද කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ජය ඝෝෂා හඬ මධ්‍යයේ නිමාව දුටුවේය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 367 (පන්දුවාර 50): චරණ නානායක්කාර 83, ඉමේෂ් විරංග 80, යෙශාන් වික්‍රමාරච්චි 78, කසුන් අබේරත්න 40, නවෝද් සමරකෝන් 23, ලහිරු ඩිල්ශාන් 4/66, මධුශික සඳරුවන් 2/48.

කොළඹ ඉසිපතන විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 203 (පන්දුවාර 50): සංජුල අබේවික්‍රම 72, පැතුම් නිස්සංක 35, නෙරංජන් වික්‍රමාරච්චි 28*, සවන් ප්‍රභාෂ් 3/26, චරණ නානායක්කාර 2/44.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට