ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලි දෙකකට දින තීන්දුයි

5120
Legends Cricket

ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලි දෙකක් වන “ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය (Legends League Cricket)” සහ “Road Safety Legends ලෝක ශූරතාවලිය” 2022 පැවැත්වීමට නියමිතයි.

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් 2022 ජනවාරි මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙන පළමු ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය (Legends League Cricket) ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සහ එංගලන්තය වැනි ප්‍රබල රටවල් නියෝජනය කරන ලද, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඇතිව මේ තරගාවලිය පැවැත්වෙනු ඇත.

මෙය කණ්ඩායම් තුනක සහභාගීත්වය ඇතිව පැවැත්වීමට දැනට ඔවුන් කටයුතු සූදානම් කරමින් සිටින අතර ඉන්දියා, ආසියා සහ අනෙක් කණ්ඩායම්වල හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් ඇතුළත් කරමින් එම කණ්ඩායම් තුන නිර්මාණය වෙනු ඇත.

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් තරු වන සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ශාන් සහ උපුල් තරංග මෙහි ආසියානු කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් සිටිනවා.

තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම එකිනෙකා සමඟ දෙවරක් ක්‍රීඩා කරන අතර අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

එම තරගාවලියේ තරග සියල්ලම ඕමානයේ Al Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර නිමා වූ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග කිහිපයක්ම එම ක්‍රීඩාංගණයේ දී සාර්ථකව පැවැත්වුනා.

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය (Legends League Cricket) අවසන් වූ සැණින්, පෙබරවාරි 3 වැනිදා සිට මාර්තු 15 වැනිදා දක්වා Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර ඒ සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වීමට නියමිත අතර නවසීලන්ත Legends කණ්ඩායම ඒ සඳහා එක්වන අලුත්ම කණ්ඩායමයි.

මෙහි පළමු අදියරේ දී ශූරතාවය දිනා ගත් ඉන්දීය ප්‍රවීණයින්ගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Sachin Tendulkar වෙත ලබා දී තිබෙන අතර එහි අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා Legends කණ්ඩායම තිලකරත්න ඩිල්ශාන් විසින් මෙහෙයවනු ලැබේ.

Road Safety Legends ලෝක ශූරතාවලිය සඳහා එක්වන කණ්ඩායම් මෙසේයි,

  • Sri Lanka Legends
  • India Legends
  • South Africa Legends
  • Australia Legends
  • England Legends
  • Bangladesh Legends
  • New Zealand Legends
  • West Indies Legends

පසුගිය දා විශ්‍රාම ගිය තිසර පෙරේරා සහ ඉසුරු උදාන වැනි ක්‍රීඩකයින් මේ වසරේ ශ්‍රී ලංකා Legends කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරනු ඇත.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ThePapare.com ඒමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<