ශ්‍රී ලංකා පාපන්දුලෝලීන්ට දුර්ලභ අවස්ථාවක්

274

පාපන්දු ක්‍රීඩාවේ ඉහළම ගෞරවය ලෙස සැලකෙන ලෝක කුසලාන ශූරතාවය ලොව පුරා රැගෙන යාමේ චාරිකාව එළඹෙන ජනවාරි මස 22 වන දින ආරම්භ වන අතර එහි එක් නැවතුම්පළක් වීමේ භාග්‍යය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට හිමිවී ඇත.

2018 වසරේ ජුනි මස 14 වන දින ආරම්භ වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නිල ශූරතාවය සත්කාරක රුසියාවට රැගෙන යාමට පෙර මෙම චාරිකාව හරහා ලෝක කුසලානය ලොව පුරා රටවල් 52කට රැගෙන යාමට නියමිත අතර ශ්‍රී ලංකාව හැරුණුකොට එය රැගෙන යන්නේ තවත් දකුණු ආසියානු රටවල් ද්විත්වයකට පමණි. ඒ පාකිස්තානයට සහ මාලදිවයින ටයි.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ පහළම ශ්‍රේණිගත කිරීමේ ස්ථානයට

‘FIFA’ ආයතනය විසින් පසුගිය සතියේ නිකුත් කළ යාවත්කාලීන කරන ලද ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට…

ස්විස්ටර්ලන්තයේ සූරිච් නුවර පිහිටා තිබෙන FIFA ලෝක පාපන්දු කෞතුකාගාරයේ තබා තිබෙන මෙම නිල කුසලානය මෙම සංචාරය හරහා මහද්වීප 6ක පිහිටි රටවල් කරා රැගෙන යාමට නියමිතය. ‘The FIFA World Cup™ Trophy Tour by Coca-Cola’ යන නමින් හැඳින්වෙන මෙම සංචාරය නිල වශයෙන් එළි දැක්වුණේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටීනෝ මහතා රුසියානු ජනාධිපති ව්ලැමිදීර් පුටින් මහතා හට 2018 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට ලෙස එම කුසලානය ලබාදීමත් සමඟයි.

“මෙම සංචාරය හරහා රටවල්වල ඇතිවන උද්යෝගය වචන වලින් කියන්න බැහැ. පාපන්දු ලෝක ශූරතාවයේ නිල කුසලානය අසල සිටින කොට පාපන්දු ක්‍රීඩාලෝලියෙකුගේ ඇස්වල තියෙන සතුට ඔබ දැකලා තියෙනවා නම් ඒක ඔබට හොඳින් තේරෙයි.”

ඉන්ෆැන්ටීනෝ මහතා පැවසීය.

එමෙන්ම මෙම කුසලානය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉතිහාසයේ පළමු වරට වන බැවින් මෙය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් අවස්ථාවක් වනු ඇත. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් සහ මෙම අවස්ථාවේ අනුග්‍රාහකයින් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ ඔහුගේ නිල නිවසේ දී මුණගැසෙමින් මේ පිළිබඳව ඔහුව නිල වශයෙන් දැනුවත් කරන ලදි. එමෙන්ම එම අවස්ථාවට තවදුරටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතා, ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටු සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා ද එක්විය.

අනගි මෙහෙවරක් කළ නිහඬ විරුවා අවසන් ගමන් යයි

එම අවසන් මහා තරගයේ දී සිරිසේන මහතාගේ ගෝල හමුවේ සෝන්ඩර්ස් කණ්ඩායම වැල්ලවත්ත පෙහෙකම්හල්…

මේ පිළිබඳව ThePapare.com සමඟින් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ;

“ලෝකයේ ක්‍රීඩාවන් තුළ පැවැත්වෙන දැවැන්තම තරගාවලියේ නිල ශූරතාවය දැක බලා ගන්න ලැබීම සහ ඊට වරම් ලබන පළමු රට වෙන්න ලැබීම අපිට ලැබෙන ලොකු ගෞරවයක්. එම අවස්ථාවට අවශ්‍ය සෑම කටයුත්තක්ම සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මෙය අවස්ථාවක් කරගෙන මෙහි දී අපේ ඉදිරි සංවර්ධන සැලසුම් ඉදිරිපත් කරන්නත්.”

ඒ අනුව ලෝක කුසලානය එළඹෙන ජනවාරි මස 23 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහි දී එය නිල වශයෙන් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට ලබා දෙනු ඇත. අනතුරුව 24 වන දින එය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරෙනු ඇත. ඉන් අනතුරුව එදින සවස් යාමේ දී එය එහි ඊළඟ නැවතුම්පළ වන මාලදිවයින බලා රැගෙන යාමට නියමිත ය.

සැප්තැම්බර් මස සිට මෙම දෙසැම්බර් මස දක්වා එය රුසියාවේ නගර 15කට රැගෙන යනු ලැබීය. ඒ අනුව රුසියාවේ Krasnoyarsk, Omsk, Chelyabinsk, Ufa, Perm, Saransk, Yaroslavl, Kaliningrad, Tula, Kursk, Voronezh, Saratov, Volgograd, Krasnodar සහ Sochi යන නගර කරා රැගෙන යමින් එය රුසියාව තුළ රැගෙන යාමේ පළමු අදියර අවසන් කෙරිණ.

අනතුරුව එළඹෙන ජනවාරි මාසයේ දී එය ලෝව පුරා රටවල් කරා රැගෙන යාමේ ජාත්‍යන්තර අදියර එංගලන්තයේ ලන්ඩන් නුවරින් ආරම්භ කෙරෙන අතර එහි දී පාපන්දු ලෝක කුසලානයට මීට පෙර සත්කාරකත්වය දරා ඇති ජර්මනිය, දකුණු අප්‍රිකාව, ජපානය සහ ප්‍රංශය වැනි රටවල්වලට ද එය රැගෙන යනු ඇත. පසුව ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට මාසයක කාලයකට පෙර මැයි මාසයේ දී එය නැවතත් සත්කාරක රුසියාව බලා රැගෙන යනු ලබයි. එහි දී රුසියානු මාර්ගය ඓතිහාසික එකක් වන අතර එය දින 123ක් පුරාවට කි. මී. 26,000ක දුරක් ආවරණය කරනු ලබන අතර එය මෙම චාරිකාවේ ඉතිහාසයේ දීර්ඝතම සංචාරය වනු ඇත. එහි දී කුසලානය රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි Vladivostok නුවර සිට බටහිර ප්‍රදේශයේ Kaliningrad නුවර දක්වා රැගෙන යාමට නියමිත අතර එහි දී නගර 24ක් ආවරණය කෙරෙනු ඇත. අවසාන වශයෙන් එය රුසියාව තුළ තවත් නගර 9කට රැගෙන යනු ලබන අතර එය රුසියාවේ අගනුවර වන මොස්කව් නුවරින් අවසන් වේ.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට