වර්ෂාවෙන් T10 තරගාවලියට බාධා; Jaffna Titans දෙවැනි ජය වාර්තා කරයි

Lanka T10 Super League 2024 

53
Lanka T10 Super League
Lanka T10 Super League

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන Lanka T10 Super League තරගාවලියේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

මේ අනුව ඊයේ (12) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ තරග ත්‍රිත්වය අතරින් විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබුණේ එක් තරගයකින් පමණයි.

Galle Marvels සහ Hambantota Bangla Tigers අතර පැවැත්වීමට නියමිත ව තිබූ තරගය වර්ෂාව නිසා සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට තීරණය කෙරුණු අතර, Nuwara Eliya Kings සහ Kandy Bolts අතර තරගය ද පන්දුවාර 3 පන්දු 3ක් ක්‍රියාත්මක කිරීමෙන් පසු අත්හැර දැමීමට සිදු වුනා. තරගය නතර කර විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි Kandy Bolts ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

Jaffna Titans දෙවැනි ජයත් වාර්තා කරයි

කෙසේ වෙතත් Jaffna Titans සහ Colombo Jaguars අතර පැවැත්වුණු තරගය නම් පූර්ණ විසඳුමක් කරා යන තෙක් පැවැත්වීමට හැකි වුනා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් Titans ක්‍රීඩකයින් විසින් නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 138ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී චරිත් අසලංක පන්දු 24කින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 5කින් වර්ණවත් වුනා. එමෙන්ම කුසල් මෙන්ඩිස් ද පන්දු 19කින් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. Jaguars වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ Ali Khan කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

කෙසේ වෙතත් අදාළ ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි Colombo Jaguars ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 98ක් පමණයි.

මෙම ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Daniel Lawrence ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුනා. මෙම තරගයේ දී ද පන්දු යැවීමෙන් සාර්ථක වූ  ට්‍රවීන් මැතිව් ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් අද (13) පැවැත්වීමට නියමිතයි.

එම තරග තොරතුරු ද ඇතුළුව තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<